ජේ.ටී. ද සිල්වා –
මහ වැසි මැද පන්ති කාමරයක් තුළ කුඩ ඉහලාගෙන විභාගයක් සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ පාසල ඇත්තේ රත්නපුරයේ නොව, එය ගම්පහ නගර මධ්‍යයේ ඇති මහා විද්‍යාලය බවට අනාවරණය වී තිබේ.
මේ මහා ඛේදවාචකයට මුහුණ දී සිටි දරුවන් සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ද තහවුරු කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන ලස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට සහ තමන් වෙත ඊයේ (මැයි 31) උපදෙස් ලබා දුන් බව ය.
මේ පිළිබඳව mawbima.lk වෙබ් අඩවිය තක්ෂිලා මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති H.B.M. රාජපක්ෂ ගෙන් විමසා තිබිණි. විදුහල්පතිවරයා පවසා තිබුණේ මේ විදුහලේ සාමාන්‍ය තත්ත්වයක් බවය. දැන් මේ ගැන කතා කර පලක් නැති බවය. සහකාර විදුහල්පතිවරයා සමග කළ සංවාදය ඔවුන් මෙසේ පල කර තිබුණහ.
ප්රශ්නය: ඔබතුමාලගේ පාසලේ විභාග ශාලාවක ළමයි තෙමෙන සිද්ධියක් ගැන අපට දැනගන්න ලැබුණා?
පිළිතුර: ඒවා අනේ වැඩක් නැහැ නිකම් මේ බහුබූත කතන්දර.
ප්රශ්නය: නෑ. නෑ. අපිට දැනගන්න ඕනේ ඒ වහල ප්‍රතිසංස්කරණය කළා ද කියලා?
පිළිතුර: වහල ප්‍රතිසංස්කරණය කරන… වහල… ඒ කියන්නේ… පෙරේදා පළමු දා රාත්‍රියේ ගම්පහට හුළං ගහලා හොඳට ම වහිනවා. ලංකාවේ දෙවැනියට වැඩි ම වර්ෂාපතනය පෙරේදා ගම්පහ නේ. එතකොට සාමාන්‍යයෙන් හෝල්වල අපේ තියෙන්නේ කොට බිත්ති නේ ඉස්කෝලවල. හෝල් තියෙනවා දැල් ගහලා තියෙනවා.
එතකොට ඒකට හිරිකඩ ඇවිල්ලා දෙපැත්තෙන් වතුර ගහල තියෙනවා. ඕක සාමාන්‍යයෙන් උගන්නන දවස්වලත් වෙනවා.
ප්රශ්නය: නැතුව වහලේ මුකුත් ගැටලුවක් නෙමෙයි නේද?
පිළිතුර: නෑ… නෑ… වහලේ ආබාධයක් නෙමෙයි. වහලෙත් අපි ලියලා තියෙනවා… ඒ කියන්නේ වහල දිරල තියෙනවා. ඒ කියන්නේ තෙමෙනවා නෙමෙයි. ලී දිරලා රිපෙයාර් කරන්න ඕනේ. ඒක අපි දෙපාර්තමේන්තුවට ලියලා සල්ලිත් පාස් වෙලා තිබිලා මේ ඊයේ පෙරේදා ඒවා ආපහු නැවැත්තුව සල්ලි නැහැ කියලා. නැතුව වහලේ සම්පූර්ණයෙන් තෙමෙන එහෙම මොකක්වත් නෙමෙයි. නිවාඩු දෙන්න කලිනුත් ඕ ලෙවල් පන්ති පවත්වන ශාලාව ඔය.
ප්රශ්නය: එතකොට මේකට මොනවා හරි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා ද?
පිළිතුර: දැන් ඒ හෝල් එක විතරක් නෙමෙයි. මේ පාසලේ තියෙනවා හෝල් පහ හයක්. තට්ටු තුනේ ඒවා. එතකොට ඒ වගේ වැස්සක් හුළඟක් අවොත් හෙටත් තෙමෙන්න පුළුවන් සමහරවිට. ඒ කියන්නේ දෙපැත්තෙන් හුළඟ අවොත් තෙමෙනවා. එහෙම නැතුව උඩින් තෙමෙනවා නෙමෙයි. වහලෙන් තෙමෙනවා නෙමෙයි.
මෙම ගොඩනැගිල්ලෙන් වැසි ජලය කාන්දු වීම හරහා විභාග අපේක්ෂකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එහි අධ්‍යක්ෂවරයෙකු අපට ප්‍රකාශ කළේ, මෙම පාසල සම්බන්ධයෙන් සොයා බලා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පියවර ගන්නා බව ය.
මව්බිම







