අලි මිනිස් ගැටුම වළක්වාලීමේ අරමුණින් අමාත්‍යංශය විෂය පථයක් ලෙස ඇති කර ආරම්භ කළ අලි අගල් කැපීමේ කටයුත්ත මේ වනවිට රජය විසින් නවත්වනු ලැබ ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය හමවෙන අද දින දැනුම දෙනු ලැබ ඇත. නීතිපතිවරයා මේ බව අනාවරණය කළේ අද දින පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පවරන ලද නඩුවක් කැඳවන ලද අවස්ථාවේදීය.
වන ජීවීන්ගේ ජීවිත හානිවලට ඉඩසලසමින් මෙන්ම, පරිසර විනාශයක් ද සිදුකරමින් කරනු ලබන අක්‍රමවත් අලි-අගල් හෑරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත විතානගේ සහ දිලෙන පාත්‍රාගොඩ විසින් පවරන ලද නඩුව කරුණු තහවුරු කිරීම සඳහා අද දින (31) ප්‍රියන්ත ජයවර්ධන, ඒ . එල් . ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.
1937 අංක 2 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ ප්‍රකාශිත ආරක්ෂිත ප්‍රදේශයන් ද ඇතුළුව , කිසිදු වලංගු පදනමක් නොමැතිව හා විශේෂඥ නිර්දේශයන් ද ලබා නොගනිමින්. අලි-මිනිස් ගැටුම අවම කිරීමේ උපාය මාර්ගයක් ලෙස සඳහන් කරමින් ඉදිකරනු ලබන මෙම අගල් වලින් වන ජීවීන්ට, මිනිසුන්ට මෙන් ම පරිසරයට ද බලවත් හානි සිදුවිය හැකි බව මෙම නඩුවේදී පෙත්සම්කරුවන් විසින් පෙන්වාදී තිබිනි.
කෙසේ වෙතත් රජයේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ අදාල අලි – අගල් හැරීමේ කටයුතු රජය විසින් මේ වනවිටත් නවතා දමා ඇති බවයි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය මගින් විමසා සිටියේ “අදාල අගල් කැනීම් කටයුතු මේවන විට නවත්වා තිබුණත් මේ වනතෙක් අගල් කැපීම හේතුවෙන් සිදුව ඇති පරිසර හානිය යථාවත් කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක් ද ?” යන්නයි. එමෙන්ම මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටින අනිකුත් සහනයන් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි දැනගැනීමට පෙත්සම්කරුවන්ට අවශ්‍ය බව ගරු අධිකරණයට දැනුම් දෙන ලදී.
එහිදී අධිකරණය නියෝග කලේ මේ පිළිබඳව පෙත්සම්කරුවන් මතුකරන ප්‍රශ්න සහ ඉල්ලා සිටින සහනයන් වෙන ම ලේඛණයක් ලෙස සකස්කර වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරියට දැනුම්දෙන ලෙසයි. ඉන් අනතුරුව එම ලේකම්වරිය විසින්අලි-අගල් සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂ කමිටුවකට එම අදහස් හා යෝජනා ඉදිරිපත්කොට මෙම නඩුවේදී ඉල්ලා සිටින සහන සම්බන්ධයෙන් එම කමිටුව ගන්නා තීරණ මාස 02 ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන ලෙසද නියෝග කළේය.
මෙම නඩුව 2022 ජූලි 29 වන දින නැවත කැඳවීමට තීරණය වූ අතර මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සමාධි හංසනී ප්‍රේමසිරි මෙනෙවියගේ උපදෙස් මත, ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සහ නීතිඥ සවන්ති පොන්නම්පෙරුම මෙනෙවිය සහ නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය පෙනී සිටින ලදී.