ජනාධිපතිවරයා විසින් පනවන ලද මේ හදිසි අවස්ථා නියෝගය වළංගු වන්නේ දින 14ක් පමණක් බවත්, නෛතික පදනම අනුව මෙම නියෝගය මාසයක කාලයක් පවත්වා ගැනීමට නියෝගය ප්‍රකාශ කළ දින සිට 10ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නොහැකි වන බැවින් දෙසතියක් තුළ එය ඉබේම බල රහිත වන බවත් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසයි.
ජනාධිපතිවරයා හදිසි අවස්ථා නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 06 වැනිදා ය. නමුත් කථානායකවරයා දක්වා ඇති පරිදි යළි පාර්ලිමේන්තුව රැස් වන්නේ ලබන 17 වැනිදා ය. එමෙන්ම මෙම හදිසි අවස්ථා ප්‍රකාශයේ හදිසි අවස්ථා නියෝග කිසිවක් නොදැක්වීම පිළිබඳව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ හදිසි අවස්ථාව කිසිසේත්ම ව්‍යවස්ථාව ඉක්මවා නොයන නිසා සාමකාමී විරෝධතා, උද්ඝෝෂණ, පැවැත්විය හැකි බවත්, ප්‍රකාශනයේ නිදහස, භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස, ගමන් බිමන් කිරීමේ නිදහස හදිසි නීතිය යටතේ වැළැක්විය නොහැකි බවය.
ඔහු මාධ්‍යයට අදහස් දක්වන්නේ මේ ලෙසිනි.
“හදිසි අවස්ථාව මහජන ආරක්ෂක පනත යටතේ පනවනු ලැබුවාට කිසිම අවස්ථාවක එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්නෙ නෑ.“
“නමුත් මෙය වෙනත් නීතීන්ගෙන් ඕන එකක් අභිබවා යන්න පුලුවන්. දණ්ඩනීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග‍්‍රහයට වඩා ඉහළ තත්ත්වයක් එනවා.“
“නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලික මිනිස් අයිතිවාසිකම් ඉක්මවා යන්නෙ නෑ. රැස්වීම, භාෂණයේ නිදහස්, ප්‍රකාශනයේ නිදහස, ජනතාවට ගමන් බිමන් කිරිමේ නිදහස කිසි දෙයක් නැතිවෙන්නෙ නෑ“
“සාමකාමී උද්ඝෝෂණ සාමකාමී අරගල දේශපාලන උද්ඝෝෂණ වශයෙන් පවත්වන්නත් මේකෙන් කිසිම බලපෑමක් වන්නෙ නෑ. “
“හැබැයි හදිසි අවස්ථාව ප්‍රකාශ කරලා දින 10ක් තුළ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. එහෙම වුනොත් තමයි ඒක සම්මත කරලා මාසයක් වලංගු කරන්න පුලුවන්. එහෙම නැතිනම් හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ දින සිට දින 10ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැතිනම් එම නියෝගය දින 14කින් ඉබේටම ආහෝසි වී යනවා.“
“ මැයි 06 වැනිදා තමයි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේ. පාර්ලිමේන්තුව නැවත රැස් වෙන්නෙ ගරු කතානායක තුමා කියලා තියනවා මැයි 17 කියලා. ඒ කියන්නෙ දවස් 10 මැයි 16 වැනිදා වෙනකොට ඉවරයි. ඊට කලින් පාර්ලිමේන්තුව කැඳෙව්වෙ නැතිනම් මේ නියෝගය අවලංගුයි.“
“ඒ කියන්නෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත්නම් මැයි 16 ඉබේටම මේ හදිසි අවස්ථා නියෝගය අහෝසි වෙනවා. මාසයක් යන්න බෑ. හැබැයි ප්‍රකාශ කළ දින සිට දින 14ක් මේක වලංගුව තියනවා.“
“ඒ වගේම හදිසි අවස්ථා ගැසට් පත්‍රයේ කිසිම තැනක කියලා නෑ මොනවද මේ පනවන හදිසි අවස්ථා නියෝග කියන එක. ගැසට් එකේම එන්න ඕන මෙන්න මේවා තමයි එන නියෝග කියලා. නමුත් ඒ කිසිවක් නෑ. දැනට හදිසි අවස්ථාව පමණක් ශ්‍රී ලංකාව තුළ පවරා තිබෙනවා.“







