පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
එමෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවන සුළු චෝදනා තමන්ව නම් කර ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔහු පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී ඇත.
වාර්තාවන පරිදි පරිදි එම ලිපියේ සඳහන් වන්නේ මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බුද්ධි අංශයේ ප්‍රධානියා පුද්ගලිකව ඉලක්ක කර ගනිමින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද දැඩි ලෙස අවභාවිතා කර ඇති බවය.
මන්ත්‍රීවරයා තමාට එරෙහිව එල්ල කරන පදනම් විරහිත චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි අවධාරණයෙන් දන්වා ඇත්තේ පාස්කු ප්‍රහාරයට හෝ කිසිදු ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවකට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.
“ප්‍රහාරය සිදුවී වසර 3ක් ගතවී හමාරය. මම පාර්ලිමේන්තු සහ ජනාධිපති කොමිෂන් සභා හමුවේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේත් කිහිප වතාවක්ම සාක්ෂි ලබාදී ඇත්තෙමි. මෙම ප්‍රහාරවලට මා හවුල් යැයි හැඟවීමට කිසිදු පරීක්ෂණයකින් තහවුරු වූ කිසිම සාධකක් නොමැත. “
මේජර් ජෙනරාල් සලෙයි යළි තහවුරු කළේය.
එවැනි පදනම් විරහිත චෝදනාවල ප්‍රතිවිපාක පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. “මෙම ප්‍රකාශයන් විශ්වාස කළ හැකි තර්ජන, බරපතල ප්‍රතිවිපාක ඇති පරිසරයක් නිර්මාණය කර ඇත. එය මා සහ මගේ පවුල විශාල අවදානමකට ලක් කරන අතර අපගේ ආරක්ෂාව අනතුරේ හෙළයි.“
“නානායක්කාර මහතා විසින් කරන ලද මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කළහොත් සියලු දෙනාටම ප්රතිලාභ ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබේ කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකි නම් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි, ”
ඔහු පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ එසේය.







