මනම්පිටිය නිමල් ජයරත්න –
-
සමස්ත ලක්වාසීන් විඳින දුක් ගැහැට හමුවේ ජනපති-අගමැති හූරලාට ඉල්ලා අස්වීමට සිත්සතන් පහළ වේවා යන ප්‍රාර්ථනය කරමින් දිඹුලාගල කඳු මුදුනේ ආදිවාසීන් පූජාවක…
-
ආදිවාසීන් දුක් විඳින ජනතාවගේ අවනඩුව අන්තර්ජාතික ආදිවාසී දිනයේ දී ලෝකයට දැනුම් දීමේ සූදානමක්…
ජනාධිපති, අගමැති, ඇතුළු රජය වහාම ඉල්ලා අස්වී ජනතාවට සහන ලබා දීමට හැකි පිරිසකට රට පාලනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට බලකරමින් අද ( 27) උදෑසන දිඹුලාගල දලුකාන ආදිවාසි කාන්තා නායිකාව ඇතුළු පවුල් කිහිපයක් මෙන්ම ඔවුන්ගේ දරුවන් දිඹුලාගල කන්දට නැග ගලේ බණ්ඩාර දෙවියන්ට විශේෂ පූජාවක් කර, කොළ අතු එල්ලා. පඬුරු ගැට ගසා රජයට විරෝධය පළ කළහ.

“මහ හූරා, අගමැති මහා හුරා දැන්වත් ගෝ ,“ “ජනපති හුරා අගමැති හුරා ඉල්ලා අස්වනු,“ “ඉන්ධන සහල් සබන් මිල අඩු කරව්“ ,“ දුප්පත් අපට සහන දියව්“, දලුකාන ආදිවාසී ලෙස කාඩ්බෝඩ් මත අඟුරු කෑලිවලින් අකුරු ලියා ඔවුන් දිඹුලාගල කන්දට නැග මහ ගල්තලාවක් මත වාඩිවී පැය කීපයක් මෙලෙස විරෝධතාවයක නිරත වූහ.
ඉන්ධන මිල, බඩු මිල වැඩි වීම හමුවේ අනෙකුත් ජනතාව මෙන්ම පොළොන්නරුවේ ආදිවාසි ගම්මාන 8ක ආදිවාසි පවුල් පන්දාහකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවත්, ඉතිහාසයේ කිසිදු රජයක් මෙලෙසින් බඩු මිල ඉහළ නොදමා ඇති බවත්, වත්මන් අගමැතිවරයාට මෙන්ම ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට නොහැකි නම් ඊට සුදුසු පිරිසකට රට බාරදී ගෙදර යන ලෙසටත් ආදිවාසී ජනතා වෙනුවෙන් ඉල්ලා සිටින බවද දලුකාන ආදිවාසි නායිකා කේ. ලිසීනෝනා සඳහන් කළාය.

ගෝල්ෆේස් වෙත ඒමට නොහැකි වී ඇත්තේ ආර්ථික තත්ත්වය මත බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තම ආදිවාසී ප්‍රජාවට හැකි අයුරින් දිඹුලාගල කන්දට නැග තම සිරිත් විරිත් අනුව මේ අයුරින් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් සිදුකළ බවත්, ආදිවාසි ප්‍රජාවට රජයෙන් එල්ල කරන ආර්ථික පීඩනයන් පිළිබඳ එළැඹෙන අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ආදිවාසී දිනයේ දී ඉදිරිපත් කරන බවත් දලුකාන ආදිවාසී නායීකා කේ. ලිසිනෝනා මෙහිදී සඳහන් කළාය
පැවැති ආර්ථික අගහිඟකම් හමුවේ තම ආදිවාසි ප්‍රජාව පසුගිය කාලයේ දිඹුලාගල කඳු පාමුල අයිනේ කටුඅල ඇතුළු අනෙකුත් අල වර්ග හාරා ආහාරයට ගත් බවත්, ඒ පිළිබඳ මාධ්‍යවලින් වාර්තා වීමත් සමග තමන්ට පිට පළාත්වලින් පැමිණ ලොකු මහත්වරු උදව් කළ බවත්, වර්තමානයේ පවතින කාලගුණයත් සමඟ අලවර්ග නොමැති බවත් කී ඇය මෙම තත්වය යටතේ බොහෝ ආදිවාසී පවුල් වේලක් හැර වේලක් කන තත්ත්වයට පත්ව ඇතැයි පැවසුවාය.
දලුකාන ආදිවාසී නායීකා කේ. ලිසීනෝනා පොළොන්නරුව දිස්ත්‍රික් හින්දු පූජකවරුන්ගේ සංගමයේ නියෝජිත ප්‍රසන්න සර්මා , සහ තවත් ආදිවාසී පිරිසක් එක්ව සමස්ත ලක්වාසීන් විඳින දුක් ගැහැට හමුවේ ජනපති-අගමැති හූරා ඉල්ලා අස්වීමට සිත්සතන් පහළ වේවා යන ප්‍රාර්ථනය කරමින් ආශිර්වාද පූජාවක්ද ඊයේ ( 26 ) වෙනිදා රාත්රියේදී දිඹුලාගල කන්දේ ගලේ බණ්ඩාර දෙවියන් උදෙසා දේව කන්නලව්වක නිරත වූහ.
රජයේ පලවා හැරීමට විවිධ සංවිධාන ගන්නා ඕනෑම තීරණයකට තම ආදිවාසි ප්‍රජාව ඉදිරියේ දී සහභාගි වන බවද විරෝධතාවේ නිරත දලුකාන ආදිවාසි ජනතාව සඳහන් කළහ.







