ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහ ගත කළ නොහැකි බව චීනය දන්වා ඇත. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කැබිනට් තීරණ දැනුම් දෙමින් අද (26) ඒ බව රටට ප්‍රකාශ කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවට චීනය යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යෑම සම්බන්ධව චීනය දැඩිව කණස්සල්ලෙන් පසුවන බව ලංකාවේ චීන තානාපතිවරයා ඊයේ (26) ප්‍රකාශ කළ බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට වාර්තා කර තිබිණි.
එහිදී චීන තානාපතිවරයා කීවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරමින් ණය ගෙවීම් පැහැර හැරියහොත් එය චීනය සමග කෙරෙන ද්වී පාර්ශ්වික සම්බන්ධතාවලට අහිතකර ලෙස බලපානු ඇති බවය.
හදිසි මූල්‍ය අවශ්‍යතාවයක් ලෙස ඩොලර් බිලියන 4-5ක මුදලක් ලබා ගැනීමේ අභිලාෂයෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට තීරණය කළ බවත් මේ ක්‍රියාවලිය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීන්දුවට පැමිණි පසු ණය ගෙවීමේ හැකියාවක් නැති බව රටක් ලෙස ණය හිමියන්ට දැන්වූ බවත් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා කීවේය. .
“ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන විට අපට ණය දෙන කඳවුරු දෙකක් තියනවා. එකක් බටහිර. අනෙක චීනය වගේ රටවල්. “
“බටහිර රටවල් අයිඑම්එෆ් එකෙන් අපට ලැබෙන අනුමැතියත් එක්ක අපට සාධනීය ලෙස සහාය දෙන්නට ඉඩ තිබුණත් චීනය දැනට එම ස්ථාවරයේ නෑ. ඔවුන් කියන්නෙ ඔවුන් ලෝකය පුරාම විවිධ රටවලට ණය දීල තියන නිසා එක් රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියොත් ඒක ඔවුන්ගේ අනෙක් රටවලටත් අහිතකර ලෙස බලපානවා කියලා“.
“ඒ නිසා ඔවුන් ඒ වෙනුවට යෝජනා කරලා තියනවා අපේ දැනට තියන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා. ඒක මූලික සාකච්ඡා මට්ටමේ තියෙන්නෙ. “







