කීර්ති ප්‍රනාන්දු –
මේ වනවිට ගෝල්ෆේස් භූමිය කේන්ද්‍ර කරගෙන දියත් වී ඇති මේ රටේ සමස්ථ මහජන හදගැස්ම රූපණය කරන සාධාරණ අරගලයේ නියැලී ඇති තරුණ අරගල කරුවන්ට උපහාරය පුද කරන බව අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානෝ පැවසූහ.
අද (18) අගරදගුරු මන්දිරයට කැඳවූ විශේෂ මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් කීවේ ලෝක අවධානය යොමු වී ඇති මේ සාධාරණ ජන අරගලය මර්ධනය කිරීමේ අඥාන සැලසුමක් ආණ්ඩුවට පවතී නම් ලෝකය ඉදිරියේ ගර්හාවට ලක් නොවී එය අකුලා ගන්නා ලෙසය.
උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
“මේ ජන හඩට සවන් දීම රටේ පාලකයන් සතු වගකීමක්. රටේ පාලකයන් රටේ අයිතිකරුවන් නොවෙයි. කාලසීමාවකට ජනතාව විසින් රට භාර දුන් පිරිසක් පමණයි. ඒ භාරකරත්වය පමණයි ඔවුන්ට තියෙන්නේ. අයිතිය නොවෙයි. අයිතිය තිබෙන්නෙ ජනතාවටයි. ඒ නිසා ජනතාවගේ හඬට සවන් දීම ඔවුන්ගේ වගකීමයි. “
“මේ විරෝධතා ව්‍යාපාරය යම් විදිහකින් හෝ යටපත් කිරීමට හෝ මර්ධනය කිරීමට රජය හෝ පාලනය කරන අය උත්සාහ කරන්නේ නම් එය මුළු රටේම පුරවැසියන්ට එල්ල කරන ප්‍රහාරයක් ලෙසයි අප දකින්නෙ. “
“ වංචාව දූෂණය හා භීෂණකාරී ප්‍රතිපත්ති මෙන්ම මේ රටේ ආර්ථිකය ආගාධයට ඇද දැමීම සඳහා හිතුවක්කාර කම් සේම ප්රජාතන්ත්රවාදය යටපත් කරමින් මේ රජය ගෙන යන වැඩපිළිවෙළ අපටත් පිළිගන්න බෑ “
“අපට ආරංචි ලැබෙමින් තිබෙනවා මෙම උද්ඝෝෂකයන් මැර බලය හා සන්නද්ධ බලය යොදා පළවා හරින්න යම් යම් සැලසුම් කරලා තියනවා කියලා.“
එවැනි දෙයක් කිරීම ප්රජාතන්ත්ර විරෝධී මෙන්ම අප කාටත් පිළිගත නොහැකි අශීලාචාර ප්‍රතිචාරයක් ලෙසයි අප හඳුන්වන්නෙ. ජාත්‍යාන්තරය ද අප රටේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් මානව ගෞරවය සම්බන්ධව අවධානය යොමු කර ඇති බව මා සඳහන් කර තියනවා. එබැවින් එවනි අඥාන ක්‍රියාදාමයන්ට නොගොස් ජනතා පරමාධිපත්‍යයට ගරු කරලා අප රට තුළ නව ක්‍රමවේදයක් ඇති කළ යුතුයි කියලා අප යෝජනා කරනවා. “
නීතියේ ආධිපත්‍ය තහවුරු කළ, ජාති භේද ආගම් භේද ඇති කර බෙදා වෙන් නොකළ, දූෂණය පිටු දැකීම සඳහා ශක්තිමත් ව්‍යුහයක් සහිත නව රටක් ඇති කළ යුතු බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මේ කරුණු ගැන අවධානය යොමුකරමින් රට ඉදිරියට ගෙන යෑම සඳහා බල ලෝභයෙන් තොරව සියලු පක්ෂවල නායකයින්ට එකතුවන ලෙස තමන් ඉල්ලා සිටින බවත් තවදුරටත් මේ රජය ජනතා හඬට කන්නොදේ නම් තමන් වහන්සේත් පොදු ජනයා සමග එක්වන බවත් කාදිනල් හිමියෝ කීහ.
උන්වහන්සේ කළ ප්‍රකාශය පහත දැක්වේ.







