නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක සමුච්චිත ධාරිතාවකින් යුත් ගල් අඟුරු නැව් දෙකක් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 34ක් ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් එම ගල් අඟුරු තොග නොලැබීමේ යෑමේ බරතපතල අවදානමකට මුහුණ දී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
පසුගිය 12 වැනිදා සිට නොරොච්චෝලේ වෙරළට ඔබ්බෙන් මෙම ගල් අඟුරු තොග සහිත නැව් දෙක නැංගුරම් ලා ඇති බවත් හෙට වනවිට එම ගෙවීම් කරගත නොහැකි වුවහොත් නැව් ගල් අඟුරු තොගත් රැගෙන එම නැව් නැවත යාත්‍රා කරන බවත් සමාගම් ලංකා රජයට දන්වා තිබේ. ඒ අනුව ගල් අඟුරුත් අහිමි වී විශාල දඩයකට යටත්ව ප්‍රමාද දින හයක ප්‍රමාද ගාස්තුවකට යටත් වීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇත..
“කොන්ත්‍රාත්තුවේ නියමයන්ට අනුව, නැව්ගත කිරීමේ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවීමෙන් 80% ක් මුදා හැරිය යුතුයි. මෙම ගෙවීම මෙතෙක් සිදු කර නැහැ. මෝසම් සුළං ආරම්භ වීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ සියලුම ගොඩබෑමේ කටයුතු අප්‍රේල් අවසන් සතිය වන විට අවසන් කළ යුතුයි. ඒ වගේම 2022 සැප්තැම්බර් මාසයේ සිට මීළඟ ගොඩබෑමේ වාරය දක්වා යළි ගොඩබෑම කළ නොහැකියි.“ සංගමය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට අනුව දැනට පවතින ගල් අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ 2022 සැප්තැම්බර් මැද දක්වා පමණි. මෙම ගල්අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් ඉදිරි ගල් අඟුරු ගොඩබෑමේ වාරය ආරම්භ වන තෙක් පවතින ගල් අඟුරු තොග කළමනාකරණය කර ගැනීම සඳහා ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ක ඒකකයක් අවම වශයෙන් දින 25 කට වසා දැමීමට ලංවිමට සිදුවනු ඇති බව ඉංජිනේරු සංගමය කියයි.
මෙම තත්වය ජනන ධාරිතාවට දැඩි ලෙස බලපානු ඇති බවත්, එම නිසා දැනට පවතින විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම නොවැළැක්විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.







