ගෝල් ෆේස් පිට්ටනිය අවට වෙන කවරදාටත් වඩා ලස්සනය. දැන් පරාර්ථය, මනුස්සකම සහ මෙතෙක් මැරී තිබූ ජාතියක සබෑ හැඟීම් දළු ලා වැඩෙන සාර භූමිය වී ඇත්තේ ගාළු මුවදොරය.
රට අන්තිම බිහිසුණු අගාධයකට වැටුණු පසු මේ ආණ්ඩුවට එරෙහිව පෙරේදා උදෑසන ස්වේච්ඡාවෙන් ගාලුමුවදොරට පැමිණි දස දහස් සංඛ්‍යාත ජනයාගෙන් පිරිසක්පෙරේදා (09) ජනාධිපති ලේකම් කාර්යාලය අභියස නැවතුනහ. ඔවුහු අනෝරා වැස්සේ රැය පහන් කලහ. අද දෙවන දිනයටත් මේ තරුණයින් එතැනය. ඔවුන් අවුරුදු ගෙවන්නට සැලසුම් කර ඇත්තේ මේ භූමියේය.
ඔවුන් ජනාධිපති කාර්යාලය අභිසයට ගෙන් වූ තේමාව “ගෝටා ගෝ හෝම්“ ය. මෙහෙම කීම“ දේශපාලනික ද?. වගකීම් සහිත ද?. විද්‍යාත්මක ද? “ ආදී දාර්ශනික කතා අනන්ත ඇසෙමින් ඇත.
සරල කතාව නම් ගෝටාට ගෙදර යන්නට කියන්නේ පුරන් කුඹුරු අස්වද්දා, බිත්ති පාට කර විරුවෙක් වඩම්මා ගත් තරුණයින් බවය. ගෝටාව ගෙන්වා ගත්තා සේම ගෙදර ඇරලවන්නට සූදානම් මේ තරුණ පිරිස් කියමින් ඇත්තේ ගෝටා ගෙදර යන තුරු තමන් ද ජනාධිපති කාර්යාලය අභියස බැඳ ගත් කූඩාරම් ගලවාගෙන ගෙදර යන්නේ නැති බවය.
දැන් මේ තරුණ උද්ඝෝෂකයින්ට පහසුකම් සපයන්නට ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් එක් වී සිටිති. තුන් වේලට කෑම, අමතරව අතුරුපස සමග තේ, රැය පහන් කරනවිට පාන්, කෙටි කෑම, බනිස්, කෝපි ඇතුළු සියලු දේ ස්වේච්ඡාවෙන් සපයන්නට ඉදිරිපත් වූ කොළඹ අවට පදිංචිකරුවන්ය. තමන්ට කන්නට නැතත් මේ පිරිස රට වෙනුවෙන් නඩත්තු කරගැනීමේ වගකීම මේ මිනිස්සු කරට ගෙන සිටිති.
මේ උද්ඝෝෂකයන් වෙනුවෙන්, කෑම බීමවලට අමතරව පොදු පහසුකම් සපයා දෙන්නට තවත් පිරිසක් ඉදිරිපත් වී සිටිති. ජල පහසුකම්, වැසිකිලි, හදිසි ප්‍රතිකාර ඒකක, කූඩාරම් සහිත ආවරණ භූමිය අවට ඉදිවන්නේ ස්වේච්ඡාවෙන් එක්වුණු පුද්ගලයින් අතිනි.
විශේෂත්වය වන්නේ මේ කිසිම තරුණයෙක් දේශපාලන පක්ෂයකට කඩේ යන කාඩරයින් නොවීමය. මේ ස්වේච්ඡාවෙන් උදවු කරන එකෙක් තුළවත් දේශපාලන හෝ වෙනත් පුද්ගලික පරමාර්ථ නොතිබීමය. දිවයිනේ නන් දෙසින් පැමිණ සිටින මේ පිරිස එකිනෙකා මින් පෙර හඳුනන්නේ නැත.
ගෝටා ගෙදර යන්නේ නැත.
ගෝටා ගෙදර යනතුරු මේ තරුණයින් ගෙදර යන්නේත් නැත.
ලෝකයම දැන් මේ තරුණ පිරිස දෙස බලාගෙනය.
ගෝටලා අපට නොකියා කියමින් හිඳී. “ තෙල් ටික ඇවිත්, ගෑස් ටික දීලා කරන්ට් එනකොට වැඩේ හරි… උද්ඝෝෂණ ඉවරයි… මේ ඉන්නෙ පොඩි ගාණයි… උන්ගෙ වැඩේ ෆේල්..“
දන්න කියන එකෙක් ඉන්නවා නම් ඥානාක්කා ලවා හරි මේ පාලකයින්ට තේරුම් කරලා දෙන්න…
“ මේ ඒ හැට නව ලක්ෂයම තමයි“







