මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍ය සරත් වීරසේකරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස පෙනී සිටිමින් ඔහු සමීපයේ සිටි පුද්ගලයෙක්, රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකුගේ සමීපතමයෙක් සහ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සේවය කරන පොලිස් නිලධාරීවරයෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.
මුදල් විශුද්ධිකරන චෝදනා යටතේ දැනට අත්අඩංගුවට ගෙන සිටින ලංකාවේ ප්‍රමුඛතම මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබා දීමටත්, ඔහුට වාසි වන ආකාරයෙන් විමර්ශන කටයුතු පවත්වාගෙන යෑමටත් අල්ලසක් ලෙස ඔහුගේ පුතාගෙන් රුපියල් කෝටි එක හමාරක මුදලක් ලබා ගැනීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන ප්‍රකාරව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබිණි.
දැනට වාර්තාවන ආකාරයට මෙම ගනුදෙනුවේ දී කෝටි එක හමාරක මුදලින් ලක්ෂ පහක් කොස්තාපල්වරයාට ලබා දී ඉතිරි මුදල මෙම පුද්ගලයින් දෙදෙනා විසින් බෙදා ගෙන ඇතැයි පෙනී ගොස් තිබේ.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස පෙනී සිටි කාංචන කබ්රාල් නැමැති මෙම චූදිත පුද්ගලයා ඇමතිවරයාගේ සමීපතමයෙක් ලෙස හිඳිමින් උසස් පොලිස් නිලධාරීන් ඇසුරු කර ඇති බවත්, මේ සියලු අනීතික බලය යොදාගෙන සමහර පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු සහ උසස්වීම් ලබා දීමට මැදිහත්වී ඇති බවත් විමර්ශකයෝ කියති.
එමෙන්ම මින් පෙර ඩුබායිහි පැවති පොලිස් සමුළුවටකට සහභාගී වීමට ඇමතිවරයා පිටත් වී ගිය පසු ඔහු සමග රැඳුණු කණ්ඩායමේ මේ පුද්ගලයා ද සිටි බව මේ වනවිට පොලිස් විමර්ශන අංශ සොයාගෙන තිබේ.
මේ වනවිට මේ පුද්ගලයින් විසින් අයථා ලෙස උපයාගත් බවට සැක කරන රත්තරන් බඩු, මුදල්, වාහන ඇතුළු දේපල පොලිස් භාරයට ගෙන ඇත.








