කීර්ති ප්‍රනාන්දු –
මොරටුව වඩු කාර්මිකයෝ අද (01) පෙරවරුවේ මොරටුව නගර සභාව ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ.
මේ වෙනවිට සිදු කරනු ලබන විදුලි කැපීම , ඉන්ධන නොමැති වීම , සහ ජීවන වියදම ඉහළ යාම තුළින් මොරටුව වඩු කාර්මිකයන් දැඩි අසීරුතාවයකට මුහුණදීම මේ උද්ඝෝෂණයට හේතුව බව ප්‍රකාශ විය.
මෙම වඩු කාර්මිකයෝ විල්ලෝරාවත්ත දැව සංස්ථාව අසල සිට විරෝධතා පෙළපාලියකින් මොරටුව නගර සභාව ඉදිරිපිටට පැමිණ පසුව නගර සභා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ. අනතුරුව ඔවුහු නගර සභා පරිශ්‍රයට ඇතුළු වී නගර සභා පරිශ්‍රය තුළදී ද මෙම විරෝධතාවය දැක්වූහ.
විරෝධතාවයේ නිරත වූ වඩු කාර්මිකයන් නගර සභාව ඉදිරිපිටට විරෝධතා පෙළපාලියෙන් පැමිණෙන අවස්ථාව වන විට පොලිස් කැරලි මර්දන භටපිරිස් දැඩි සූදානමකින් යුතුව නගර සභා භූමිය සහ ඒ අවට රැකවල් ලා තිබිණ .
මොරටුව නගර සභාවෙන් ලංකාසර කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ අද දින නගර සභාවේ මාසික මහා සභා රැස්වීම ද පැවැත්වීමට නියමිතව තිබූ බවත් මෙම විරෝධතාවය හේතුවෙන් එම මහා සභා රැස්වීම ද කල් දැමීමට සභාපති වරයා පියවර ගත් බවත්ය .