දරාගත නොහැකි සේ සහල් මිල වැඩිවෙමින් පවතින බව වෙළෙඳපල ආරංචි මාර්ග හෙළි කරයි.
පිටකොටුවේ තොග වෙළෙඳපල තුළ පෙබරවාරි මස 25 සිට මාර්තු මස 25 දක්වා මසක කාලය තුළ නාඩු සහල් කිලෝවක් රුපියල් 34කින් ද රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 33කින් ද ඉහළ ගොස් ඇති අතර මරදගහමුල තොග වෙළෙඳපලේ සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 41කින් ද ඉහළ ගොස් ඇ.ති බව වෙළෙඳපල ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පසුගිය දින දෙකක් තුළ නාඩු සහල් කිලෝ ග්රෑමයක් රුපියල් 15කින් ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 12කින් ද, මරදගහමුල තොග වෙළෙඳපලේ සුදු සහල් කිලෝවක් රුපියල් 09කින් ද ඉහළ ගොස් තිබීම විශේෂය.
මාර්තු මස කොටුව තොග වෙළෙඳපලේ නාඩු සහල් කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 156ක් ලෙසය. ඊයේ වනවිට නාඩු කිලෝවක මිල රුපියල් 190කි. මිල වැඩිවීම රුපියල් 34කි.
පෙබරවාරි 25 දා එහි රතු කැකුලේ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 157කි. මාර්තු මස 25වන විට රතු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 190කි. මිල වැඩිවීම රුපියල් 33කි.
පෙබරවාරි 25 දා මරදගහමුල තොග වෙළඳපලේ සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 143කි. මාර්තු මස 25වන විට කිලෝවක තොග මිල රුපියල් 184කි. මිල වැඩිවීම රුපියල් 41කි.
මෙම කාලය තුළ ආනයනික සහල් කිලෝවක් ද රුපියල් 09 – 18 අතර මිලකින් ඉහළ ගොස් ඇත.