පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක විභාගය මැයි මස 30 දා කැඳවන ලෙසත් එදින සාක්ෂිකරුවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ අද (7) එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී තිබිණි.
නඩුවට නිමිත්ත වර්ෂ 2016 සිට ඇදී එන එකකි. එම වර්ෂයේ පෙබරවාරි මුල් සතියේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ තුම්මුල්ල පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගවල උද්ඝෝෂණය කිරීමෙන් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනාකර විමල් වීරවංශ ඇතුළු විත්ති කරුවන් 06 දෙනෙක් වෙත කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම නඩුව ගොනු කර තිබිණි.
මෙම හැසිරීමෙන් විත්තිකරුවන් අපරාධමය වරදක් සිදුකර ඇති බව ද පොලිසිය ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් වේ.
එම පැමිණිල්ල වර්ෂ 2016. නොවැම්බර් මස 16 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබීය. චෝදනා පත්‍රය විභාගයට ගැනිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එදින නියෝග කළේය.
දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් අද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
නඩුවේ විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා සහ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනවිරත්න යන නම් කර තිබේ.







