පවතින බලශක්ති අර්බුදයට එක් විසඳුමක් ලෙස විදුලි ජනන යන්ත්‍ර පවතින මහා පරිමාණ සමාගම්වල ජාතික පද්ධතියේ සැපයුම් නවත්වා ඔවුන්ට තම පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර මඟන් විදුලිය සපයා ගැනීමට අදාළ ව කටයුතු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩලය වෙත දන්වා ඇතත් මෙය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට අපහසු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ යැයි වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධානීන් සහ නියාමකයා වන මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර මේ පිළිබඳව මත ගැටුමක් නිර්මාණය වී ඇති බවත් අදාළ පාර්ශ්ව දෙක අද දින මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් විදුලි බල මණ්ඩල අරංචි මාර්ග සඳහන් කරයි.
වියළි කාලගුණය සමඟ සහ වාරි සහ පානීය ජල අවශ්‍යතා සලකමින් ජල විදුලිය උත්පාදනය කිරීම සීමා කිරීමට සිදුව තිබීම හා විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයුම අර්බුදයට ලක්වීම මත විදුලිය කැපීමකට ලංකා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලුවද අවසාන මොහොතේ මහජන උපයෝගීතා කොමිසම එම අවසරය ලබා නොදීමට ක්‍රියා කළේ ඊට අදාළ විසඳුම් කිහිපයක්ද යෝජනා කරමිනි.
එම විසඳුම් අතරින් එකක් වන්නේ දැනට මහා පරිමාණ විදුලිය පරිභෝජනය කරන්නන් සතු පෞද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියා කරවා එයින් විදුලිය උත්පාදන කිරීමය. එම ජනන විදුලිය ජාතික පද්ධතියට එක් කරන්නේ නම් ඒකකයක් සඳහා රුපියල් 36ක මුදලක් ගෙවීමටද මෙහිද යෝජනා කර තිබුණි.
මෙගවොට් 300කට ආසන්න ධාරිතාවක් සහිත පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර පවතින බව මෙහදී අනාවරණය වී ඇති අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එම විදුලිය මේ මොහොතේ ලබා ගත යුතු බවය.
ඊයේ (16) මහජන උපයෝගීතා කොමිසම විද්‍යුත් ලිපියක් මඟින් විදුලි බල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාට දන්වා ඇත්තේ මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස වුවද එය කඩිනමින් ප්‍රායෝගීකව ක්‍රියාතමක කිරීම දුෂ්කර බවට මතයක් මේ වනවිට විදුලි බල මණ්ඩල ප්‍රධානීන් අතර පැවති මූලික සාකච්ඡාවලදී හෙළි ව ඇත.
මෙම තත්ත්වය මත මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද දින විදුලිබල මණ්ඩල ප්‍රධානීන් සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියම කරගෙන ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.







