සුලු වරද සඳහා බන්ධනාගාරගතවන වරදකරුවන් බන්ධනාගාරයට යොමු නොකර නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිදුකරන සුවිශේෂී ප්‍රතිසංස්කරණ හඳුනාගෙන බන්ධනාගාර තුළ ඇති තදබදය අඩුකිරීමේ පස් අවුරුදු සැලැස්ම යටතේ ඉදිරිපත් වී ඇති සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීමේ මෙම ව්‍යාපෘති යෝජනාව අද (09) බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය විසින් අධකරණ ඇමති අලි සබ්රි වෙත භාර දී තිබිණි.
සුලු වැරදි කරන්නන් සඳහා බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය දියුණු විශෝධන ක්‍රමවේදයන් භාවිතා කරන රට තුළ සිදුවන බවත්, රැකියාව සඳහා, සෞඛ්‍ය කාරණා සඳහා වැනි සීමිත අවශ්‍යතා වෙනුවෙන් පමණක් මෙම රැඳවියන්ට නිවසින් පිටවීමට ඉඩ සලසන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් නිවාස අඩස්සියේ රැඳවියන් නිරීක්ෂණය කරනු ලබයි.
මේ හේතුවෙන් රජයට රැඳවියෙක් වෙනුවෙන් දරන්නට සිදුවන විශාල පිරිවැය අඩු කිරීමටත්, රැඳවියන් ආර්ථිකය තුළ ක්‍රියාකාරීව තබා ගැනීමටත්, සුලු වැරදිවලට බන්ධනාගාරගත වී දඩ මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරය තුළම රැඳී සිටිනා පිරිස් අඩුකරගැනීමටත් මින් ඉඩකඩ සැලසෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.







