ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා විකල්පයක් ලෙස රෝද හතරේ වාහනයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇත.
මෙම වාහනය නිශ්පාදනයේ දී දේශිය අගය එකතු කිරීම සියයට පනස් පහකට වැඩි බව නිශ්පාදන සමාගම පවසයි. වාහනයේ එන්ජිම නිශ්පාදනය කරලා තිබෙන්නෙ චීනයේය.
මෙම වාහනය නිශ්පාදනය කරනු ලබන්නේ කඩවත ඉම්ප්‍රියා හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනයකි. මෝටර් රථයේ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ මොටර් යාන්ත්‍රික විද්‍යාව සහ සන්නිවේදනය විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ලාංකික වරලත් ඉංජිනේරුවරයෙක් විසිනි.
වාහනය සම්බන්ධව අන්තර්ජාල නාලිකාවකට අදහස් දක්වමින් එම සමාගමේ ලේකම් සුනිල් විජේසිංහ පවසන්නේ මෙම වාහනය දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අනුමැතිය ලැබී ඇති බවය
“ මේකට කියන්නෙ කොඩ්‍රි සයිකල් කියලා. රොද හතරේ මේ වාහනය ත්‍රී රෝද රථවලටත්, මෝටර් සයිකල්වලටත් වඩා ආරක්ෂාව අතින් බොහොම දියුණුයි. “
“ දැන් මේ වාහනයට මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ ලියාපදිංචිය ලැබී තිබෙනවා. මෙය ලියාපදිංචි කරන්න කලින් ඔවුන් තමන්ගෙ අධීක්ෂණය යටතේ කිලෝ මීටර දස දහසක් ලංකාව වටේ දිව්වා. චැසිය හදන වෙලාවෙ පරමාණුක බලශක්ති අධිකාරිය, අයි.ටී.අයි ආයතනය , වේරහැර වැඩපළ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇවිත් නිශ්පාදනය අධීක්ෂණය කළා. “
අපට නිශ්පාදනයේ දී යම් යම් දේ ආනයනය කරන්න වෙනවා. මේ තියන තත්වය හැටියට අපේ තක්සේරුව වාහනය මිල ලක්ෂ දොලහක්. හැකි උපරිම උත්සාහ කරන්නේ ත්‍රි රෝද රථයක මිල මට්ටමට හෝ ඊට වඩා අඩු මිලකට මේ වාහනය වෙළෙඳපලට හඳුන්වා දෙන්න. “
නිශ්පාදකයන් කියන්නේ එසේය.
මෙම වාහනයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි බවත්, එන්ජින් ධාරිතාව 200 CC බවත්, සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 814 ක් රථයෙන් ප්‍රවාහනය කළ හැකි බවත් නිශ්පාදන ආයතනය කියන්නේය.







