ජල විදුලිය උපරිම ලෙස නිපදවීමට මේ දිනවල උත්සාහ දැරීම හේතුවෙන් කඳුකර මහවැලි ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාමේ තත්ත්වය මත වික්ටොරියා රන්දෙනිගල මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශවල ජලය විදුලිය සඳහා ලබා ගැනීම සීමා කරන ලෙස මහවැලි අධිකාරිය ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ.
මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශවල ජලය උපරිම ලෙස යොදා ගතහොත් කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් පහළ යාමේ අවදානමක් මතුව ඇති අතර එයින් කොළඹ ඇතුලු තදාසන්න නගරවල ජල සම්පාදනය අඩාළ වීමේ අනතුරක් නිර්මාණය වී ඇති බව සඳහන් වේ.
මෙයට අමතරව වික්ටෝරියා සහ රන්දෙණිගල සහ කොත්මලේ ජලාශවල ජල මට්ටම පහත බැසීම හේතුවෙන් ඉදිරියේදී කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සම්පාදනය කිරීමේ විශාල ගැටලුවක් නිර්මාණය වනු ඇතැයි සැකයක් මතුව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් මෙම ජලාශවලින් ජල විදුලිය උත්පාදනය කිරීම සීමා කරන ලෙස මහවැලි අධිකාරිය දන්වා ඇත.
මේ වනවිට වාර්තා වන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ මැද වනවිට ප්‍රධාන ජලාශ හයක් වන වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ, මාවුස්සාකැළේ, කාසල්රී සහ සමනළවැව ජලාශවල සමස්ත ජල මට්ටම සියයට 95 ක පැවති අතරමේ වනවිට එය සියයට 56ක් දක්වා පහත බැස ඇත.
මේ අතර පසුගිය නොවැම්බර් මස 28 වැනිදා සිට ජනවාරි මස 28 වැනිදා දක්වා මාස දෙකක කාලය තුළ ජල විදුලි ජනන ධාරිතාව සියයට 40කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර මේ වනවිට එය ගිගෙවාට් පැය 1123 සිට ගිගාවොට් පැය 683ක් දක්වා පහළ ගොස් ඇත.









