රටේ මෝල් මාෆියාවට පිළිතුරු ලබා දීම සඳහා වී සඳහා සහතික මිල රුපියල් 75 දක්වා වැඩි කිරීමටත්, අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් සහල් පිටරටින් ගෙන්වීමටත් කැබිනට් මණ්ඩලය තීර්ණය කළ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අද (25) පැවසීය.
ඒ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. එහි දී ඇමතිවරයා මෙසේ ද කීවේය.
“වී අලෙවි මණ්ඩලයත් පෞද්ගලික අංශයත් සමග තරගකාරී ලෙස වී මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ලබා දුන්නා.“
“ඒ අනුව අද උදේ අපි තීන්දු කළා අද සිට වී අලෙවි මණ්ඩලය වී කිලෝවක් රුපියල් 75ට මිලදී ගන්න. හැබැයි වී රුපියල් 75ට ගත්තා කියලා පාරිභෝගිකයන් කලබල විය යුතු නෑ. සහල් මිල වැඩි කරන්න කටයුතු කරන්නෙ නෑ.“
“රජය පිට රටින් සහල් ආනයනය කරන්න තීන්දු කරලා තියනවා. මොකද වී මෝල් මාෆියාව විසින් පසුගිය වකවානුවෙ ඉතා අසාධාරණ ලෙස වී මිල රුපියල් 150ට 200ට අරගෙන ගියා. ඒ නිසා වී මිල පාලනය කරන්න එක පැත්තකින් රජය සතුව වී සංචිතයක් තියෙන්න ඕන. අනෙක් පැත්තෙන් රටන් හාල් ගෙනත් හරි යම් ප්‍රමාණයක් තිබිය යුතුයි.“