අධිකරණය ඉදිරියේ වැරදිකරු වී මරණ දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙකුගේ පවුලේ උදවියටද සමාජය ඉදිරියේ එම වරදට දඬුවම් විඳීමට සිදුවුව හොත් එය බරපතල වරදක් බව මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්යක්ෂ නන්දන මනතුංග පියතුමා පවසයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට වරදකරුවී මරණීය දණ්ඩනය සමඟ වසර 645ක සිරදඬුවමක් නියමව සිටින පුද්ගලයෙකුගේ දියණියට අද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇතැයිද උන්වහන්සේ කීහ.
“බන්ධනාගාර ගත වූවන්ට මානව ගරුත්වය සහ මානුෂීය තත්ත්වයන් යටතේ සිටීමට ඇති අයිතිය තහවුරු කරමු“ යන්න තේමා කර ගනිමින් මෙවර මානව හිමිකම් දිනය නිමිත්තෙන් මහනුවර ආර්ට් ලංකා ශ්‍රවනාගාරයේදී පැවැත් වීමට නියමිතව තිබූ උත්සවය අධිකරණ නියෝගයක් ලබා ගනිමින් පැවැත් වීම වැලැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මනතුංග පියතුමා මේ බව ප්‍රකාශ කළේය.
මෙම මස 11 දින මෙම සැමරුම් උත්සවය පැවැත් වීමට නියමිතය තිබූ බවත් එහිදී ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ අධිකරණය මගින් වරදකරු කිරීම නිසා සිරදඬුවම් විඳින පුද්ගලයෙකුගේ දියණියට උපහාරයක් ලබාදෙන බව පවසමින් අදාළ තහනම් නියෝගය ලබාගෙන තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.
බන්ධනාගාර ගත වූවන්ගේ පවුල් වල එකමුතුවක් ගොඩනගා යුක්තිය උදෙසා කටයුතු කිරීම සඳහා ඔවුන්ට සහය දීම මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අරමුණ බවත් එම එකමුතුව තුළ දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට වරදකරු වී දඬුවම් විඳින පුද්ගලයාගේ දියණියද සිටින බවත් මනතුංග පියතුමා පැවසුවේය.
අදාළ පුද්ගලයා උඩ පේරාදෙණිය ප්‍රදේශයේ අයෙකු බවත් ඔහු දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට පොලිසීය විසින් අත්අඩංගුවට ගන්නා විට දියණියන් දෙදෙනා අවුරුදු 09 හා 07 වයසේ පසුව ඇති බවත් එතුමා ප්‍රකාශ කළේය.
තාත්තා සිරගත වී මාස තුනකට පසු ඔවුන්ගේ මව මරණයට පත්වන බවත් පියාගේ නඩු කටයුත්ත වෙනුවෙන් මේ වැඩිමහල් දියණිය වසර ගණනාවක් වෙහෙස වී තිබෙන බවත් කී මනතුංග පියතුමා ඇය මහනුවර මානව හිමිකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන බන්ධනාගාර ගත වූවන්ගේ පවුල් වල එකමුතුවේ සාමාජිකාවක් බවද අවධාරණය කළේය.
වර්ෂ 2017 දී තම එකම සහෝදරියද ජීවිතයෙන් සමුගැනීම නිසා මෙළොව තනිවන මෙම දියණිය මව පියා නොමැතිව දිරියෙන් ජීවිතයට මුහුණ දෙනු ලබන්නේ අභියෝග රැසක් මධ්‍යයේ බවත් ඇයට උපහාරයක් පිදීම පියාගේ දඬුවම හා බද්ධ කර ගනිමින් එය වැලැක්වීමට කටයුතු කිරීම සාදාචාරසම්පන්න සමාජයකට ඔබින ක්‍රියාවක් නොවන බවත් මනතුංග පියතුමා පැවසුවේය.







