මනම්පිටිය නිමල් ජයරත්න –
ගොවි පවුල් 5000කගේ පමණ ජීවිත ව්‍යසනයට ඇද දැමූ වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දිඹුලාගල දම්මින්න මහවැලි කොට්ඨාසයේ ගොවි සංවිධාන 12ක නියෝජිතයන් සහ ගොවීන් පිරිසක් පොලොන්නරුව මහඔය මාර්ගය දම්මින්න මංසන්ධියෙන් අවහිර කර අද ( 17 ) පෙරවරුවේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
ගොවීහු මාර්ගය අවහිර කරගෙන මාර්ගයේ ලිප් බැඳ ගිනි දල්වා තේ වත්කරන් බී මාර්ගයේම වැතිරී සිටියේ තමන්ගේ ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් කිරිම සඳහා බලධාරියෙක් පැමිණෙන තුරුය. පස්වරු 1 පමණ වනවිටත් බලධාරියෙක් ඔවුන් සමග සාකච්ඡාවට පැමිණ තිබුණේ නැත.
17 වෙනිදා පෙරවරු 9 ට පමණ ආරම්භ වූ මෙම විරෝධතාවයේ නිරත ගොවීන්හට විසඳුමක් නොලැබීම නිසා, එම ගැටලුව ඉදිරිපත් කිරීමට ගොවි නියෝජිතයින් කිහිප දෙනෙකු දම්මින්න මහවැලි කොට්ඨාස කාර්යාලයට ගියද එම කාර්යාලයේ නිලධාරීන් විශේෂ සාකච්ඡාවක නිරත වූ බැවින් ගොවි නියෝජිතයින් ප්‍රධානම මාර්ගයට පැමිණ බිම වාඩිවී මහා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත් වූහ.
මෙම විරෝධතාවය හේතුවෙන් පොලොන්නරුව මහඔය ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථවාහනවලට දැඩි බාධා එල්ල වූ අතර අරලගංවිල පොලිසිය පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර මාර්ගයේ ගමන් වාහන වලට බාධා නොවන අයුරින් උද්ඝෝෂණය සිදු කරන ලෙසට ඉල්ලීම් කරද විරෝධතාකරුවන් පැවසුවේ බලධාරියකු පැමිණ විසඳුමක් ලබාදෙන තුරු තමන් මහ පාරෙන් නොනැගිටින බවයි.
මාදුරුඔය ජාතික ජාතික වනෝද්‍යානයට මඩකළලපුවෙන් සහ හම්බන්තොටින් මී ගවයින් මෙන්ම එළ ගවයින් විසිදාහකට පමණ ආසන්න සංඛ්‍යාවක් ගෙනැවිත් දැමීම හේතුවෙන් වන අලින්ට ආහාර හිඟ වීමත් සමග එම අලින් ගම්බිම් වලට පැන තම දේපළ හා ජීවිත විනාශ කරන බව ගොවීහු කීහ.
දම්මින්න කොට්ඨාසයේ ගොවි පවුල් පන්දාහකට ආසන්න සංඛ්‍යාවකට මෙම වන අලි තර්ජනය බලපා ඇති අතර ,මෙවර ඉතා අසීරුවෙන් වගා කරන ලද පැළ ගොයම පවා වන අලින් විනාශ කර ඇති බව දම්මින්න කොට්ඨාස ගොවි සංවිධාන සභාපති ඊ.ජී ධනවර්ධන මෙහිදී සඳහන් කළේය.
පස්වරු 1 වන විට ද මෙම ගොවීන්ගේ ඉල්ලීම්ට විසඳුමක් ලබාදීමට බලධාරියකු නොපැමිණීම නිසා උද්ඝෝෂකයින් මහා මාර්ගයේ බිම වාඩිවී, ප්‍රධාන මාර්ගයේ ලිප් බැඳ වතුර රත් කර තේ බීමට ද කටයුතු සිදු කළහ.
පස්වරු 1 වන විටද මෙම විරෝධතාවය ක්‍රියාත්මක වෙමින් තිබුණ අතර උද්ඝෝෂකයින් පැවසුවේ විසඳුමක් ලබාදෙනතුරු මෙම ස්ථානයේම අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බවයි.
අප මෙම ගොවීන් නගන චෝදනාව සම්බන්ධයෙන් වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි සහකාර අඩවි ආරක්ෂක ආර්. ආර්. ශාන්ත සඳහන් කළේ මෙම උද්ඝෝෂණය පිටුපස දේශපාලන මුහුණුවරක් ගෙන ඇති බවත්, දම්මින්න කොට්ටාසයේ පවතින උග්‍ර වන අලි තර්ජනයට හැකි අයුරින් විසඳුම් ලබාදී ඇති බවත් ,ගම් වදින වල් අලි පලවා හැරීමේ මෙහෙයුම් හැකි සෑම විටම ක්‍රියාත්මක කරන බවත්ය.







