එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම මගින් සිදුවූ හානිය සම්බන්ධ පළමු අන්තර් වාර්තාව ඉදිරි දින කිහිපයේදී නීතිපතිවරයාට ලබා දෙන බව සාගර හා ජලජ පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මෙනවිය කීවාය.
මෙම වාර්තාවේ සකස් කිරීම බොහෝ දුරට අවසන්ව ඇති බවත් ඔස්ට්‍රේලියානු විශේෂඥ නීතිඥ කණ්ඩායමක උපදෙස් වාර්තාව සඳහා ලබා ගැනීමෙන් අනතුරුව වන්දි ලබා ගැනීමේ කටයුතු සඳහා එය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමට යොමු කරන බවද ඇය කීවාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී ඊයේ (06) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිනිය මේ බව ප්‍රකාශ කළාය. මෙම සිදුවීම සම්බන්ධ වාර්තා කිහිපයක් සකස් වෙමින් තිබෙන බවත් නෞකාව ගිනි ගැනීමෙන් වූ පරිසර හානිය තවමත් අවසන් යැයි තමන් විශ්වාස නොකරන බවත් ලහඳපුර මෙනවිය කීවාය.
නෞකාවේ සුන්බුන් හා එහි අබලි ද්‍රව්‍යය තාමක් මුහුදු සීමාවේ තිබෙන බවත් පරිසර හානිය සම්බන්ධ අවසන් වාර්තාවක් ලබා දීමට හැකියාව ලැබෙන්නේ මේවා කවදා හෝ ඉවත් කළාට පසු බවත් ඇය අවධාරණය කළාය.







