මහනුවර මාපනාවතුර ප්රදේශයේ පදිංචි කරුවන් පිරිසක් ඊයේ (05) පස්වරුවේ පේරාදෙණිය නිල්ලඹේ ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී වාන් දොරටු විවෘතවී ජලාශයේ ජලය ඉහළ යෑම නිසා එක් අයෙකු ජලයේ ගිලී මිය ගොස් තවත් දෙදෙනෙක් අතුරුදහන් වී තිබේ.
අනතුර පස්වරු 6.30 ට පමණ සිදුව තිබෙන අතර මොහොමඩ් ෆාරිස් රස්ෆාන් නැමැති අය මිය ගොස් වයස අවුරුද්දයි මාස හයක්වන දරුවෙක් හා ඇගේ විසි හැවිරිදි මව ද අතුරුදන්ව ඇත.
නිල්ලඹේ ජලාශයේ දිය නෑම සඳහා මොවුන් ඊයේ (5දා) පස්වරුවේ ත්රිරෝද රථයකින් ගොස් තිබේ.
දොළුව ප්රදේශයේ දිය නෑම සඳහා නිල්ලඹ ජලාශයේ වෙන්කර ඇති ස්ථානයක තම පුතාත් ඔහුගේ බිරිඳත් වයස අවුරුදු දෙකක ඔවුන්ගේ දරුවාත් ඥාති පුතුන් දෙදෙනෙකුත් දිය නාමින් සිටියදී ජලාශයේ වාන් දොරටුවක් හදිසියේ විවෘත කිරීම නිසා විශාල ජල කඳක් පැමිණීම නිසා මෙම අනතුර සිදුව තිබෙන බව එම්.අසීස් කීය.
හදිසියේ පැමිණි ජල කඳට අසුව තම ලේලිය ජලයේ ගසා ගෙන යද්දී ඇය බේරා ගැනීමට පුතා ගොස් තිබෙන බවත් ඔහුද ජලයේ ගසා ගෙන යද්දී ඥාති පුතා දරුවා පසෙකින් තබා ජලයට බැස තිබෙන බවත් කී අසීස් එම අවස්ථාවේ දරුවාද ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි දැන ගන්නට තිබෙන බව ප්රකාශ කළේය.
දියේ ගිලී අතුරුදන් වූ දරුවාගේ පියා වන මොහොමඩ් අබ්දූල් අසීස් නැමැති අයව ප්රදේශවාසීන් විසින් බේරා ගෙන රෝහල් ගත කර තිබේ.
මොහොමඩ් ෆාරිස් රස්ෆාන් නැමැති අයගේ මළ සිරුර ඊයේ (05) පස්වරුවේම සොයා ගෙන ඇත.
ජලයේ ගසා ගෙන ගොස් අතුරුදන් වූ මොහොමඩ් නසාර් ෆාතිමා අස්රා (20) හා ෆාතිමා ආලියා සියාවුල් සිරාස් (2 1/2) යන අය සොයා පොලිස් ජීවිත ආරක්ෂක අංශය හා නාවික හමුදා කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරෙයි.







