හොඳටෝම බිඳ වැටී තිබු ශ්රී ලංකා ඉනිම ගොඩ නැගීම සඳහා ධනංජය ද සිල්වා දියත් කර ඇති හුදකලා අරගලය වෙනුවෙන් අවසන් මොහොතේ ලසිත් අඹුල්දෙණිය එක් වී අද දවස අවසන් වනවිට ශ්රී ලංකා කණ්ඩායම තරගයක් ලබා දිය හැකි ඉසව්වක් වෙත රැගෙන යමින් සිටියේය.
මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 279ක් ඉදිරියෙනි.
සිය අටවන ශතකය ලබා ගත් ධනංජය ඊට තවත් අර්ධ ශතකයක් එක් කරගෙන සිටින්නේ. ධනංජය මේ වනවිට නොදැවී ලකුණු 153කි. ඔහුට විශිෂ්ට සහයෝගයක් ලබා දෙන ලසිත් ඇඹුල්දෙණිය එක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 25කි. ඇඹුල්ගේ සහ ධනංජයේ 9 වැනි කඩුල්ලේ සම්බන්ධය දැන් ලකුණු 107කි. මේ තරගයේ ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම දෙකේදීම ගොඩනැගුණු හොඳම සම්බන්ධතාවය එයය.
ඊයේ දුවද්දී දැවී ගිය දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්රනාන්දු ක්රීඩාගාරයේ තබමින් අද තරගය ආරම්භ විය. චරිත් අසලංක ගැන ක්රීඩා ලෝලීන් සිටියේ බලාපොරොත්තු දල්වාගෙනය. එහෙත් මංගල තරගයේ දෙවන ඉනිමේදීත් ඔහු සාර්ථක වූයේ නැත. ලකුණු 19කට ඔහු වීරසාමි පෙරම්මුල්ට ගොදුරු විය.
බලාපොරොත්තු සහිත ස්ථාවර පිතිකරණයක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 66ක් ලබා ගත්තේය. ඔහු රොස්ටන් චේස් හමුවේ දැවී යන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදරටය.
දිනේෂ් චන්දිමාල් සුපුරුදු ලෙසම ෆේල්ය. ඔහු ලකුණු 02කි. රමේෂ් මෙන්ඩිස් අවසන් තුන් ඉරියව් ක්රීඩකයා ලෙස ලකුණු 25ක් ලබා ගත්තේය. ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වී ඉනිම අගින් පන්දුවට පහර දීමට පැමිණි ඈන්ජලෝ මැතිව්ස් එක ලකුණකට දැවී ගියේය.







