සිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබුණු ලෝක කුසලාන කාන්තා සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතර මග අත් හිටුවීම නිසා මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයකට ලක් වී ඇතැයි වාර්තා වේ.
කණ්ඩායමේ හත්දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග සිම්බාබ්වේ වෙතින් පිටවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ කොටසකට අහිමි වීමත්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ පිරිසට ගුවන් ගමන කළමනාකරණය කරගැනීමට ජාත්‍යාන්තර ගුවන් සේවාවන් සමග දැඩි අරගලයක් කිරීමට සිදුවීමත් හේතුවෙන් තවමත් කණ්ඩායම සිම්බාබ්වේ හි කොටු වී සිටී.
දැනට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතා අවසන් වටයෙන් විසිවී ඇත්තේ ලෝක කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල ප්‍රසාද ලකුණු සටහනේ දැනට 6 ,7, 8 යන ස්ථාන වල පසුවන කොදෙව්, පාකිස්තාන හා බංග්ලාදේශ කණ්ඩායම් මීළඟ ලෝක ශූරතාව සඳහා තෝරා ගෙන ඇති බැවිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම් වල අටෙන් උඩට ඒමට තිබුණද මාස විස්සකට වැඩි කාලයක් ඔවුන් කිසිදු තරගාවලියකට සහභාගි නොවී තිබීමෙන් එම අවස්ථාව වැළකී ගිය බව වාර්තා වේ.
කොවිඩ් තත්ත්වයක් තුළ වුවද මේ වකවානුවේ බංගලාදේශය, පාකිස්ථානය වැනි රටවල් තරගාවලි පැවැත්වුවත් කාන්තා ක්‍රිකට් අවතක්සේරුවට ලක් කරමින් කිසිදු උනන්දුවක් දැක්වීමට ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් අංශයේ ප්‍රධානියා කටයුතු කර නැතැයි චෝදනා එල්ලවෙමින් ඇත.
ශ්‍රී ලංකා පිරිම් කණ්ඩායමේ තාවකාලික කළමනාකරු ලෙස කටයුතු කිරීමට ගොස් තමන්ගේ ප්‍රධාන රාජකාරිය අතපසු කිරීම මෙයට හේතු වී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් සිදුව ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 2022 ලෝක ශූරතා තරගාවලියත් ලොව දක්ෂතම පිතිකාරිණියක ලෙස පිළිගැනෙන ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තුට ලෝක කුසලානයක තම දස්කම් දැක්වීමට තිබූ අවස්ථාවත් මගහැරී යෑම තතු දත් ආරංචි මාර්ග පවසයි.







