මෙරට ගෘහස්තව භාවිත වන එල්.පී ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ (26) අදාළ ගෑස් සිලින්ඩර සාම්පල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයට සහ මේ පිලිබඳව පහසුකම් සහිත පෞද්ගලික රසායනාගාරයකට යොමු කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ලංකාසරට පැවසීය.
පාරිභෝගික අධිකාරිය මඟින් මෙම ගෑස් සාම්පල අදාළ ගසමාගම් දෙකෙන් ලබා ගෙන ඇති බවත් ඒ අනුව ඒවා අද දිනයේ පරීක්ෂාව සඳහා යොමු කරන බවත් අප කළ විමසීමක දී රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
ගෘහස්ත ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධයෙන් මෑත කාලයේ සිදුව ඇති සිදුවීම් පසුපස මෙරට ගෑස් සමාගම් දෙක තම සංයුතිය වෙනස් කළ බවට කියවෙන මතවාදය පිළිබඳව විද්‍යාත්මකව විමර්ශනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
එසේම මේ වනවිට ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලයට මෙම ගෑස් සංයුතිය සහ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා සුදුසුකම් සහිත රසායනාගාර ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.