රජයේ හවුල්කාර පක්ෂ විසින් යුගදනවි බලාගාර ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහා ඊයේ (28) සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයට තමන් සහභාගී වූයේ එහිදී වෙන්නේ කුමක්ද යන්න පිළිබඳව කරුණු හරිහැටි අවබෝධ කර ගැනීමට වුවත් මෙම බලාගාර ගිවිසුම මඟින් යම් රටකට බලශක්ති ඒකාධිකාරයක් ලබා දීම යන කරුණට තමන්ද එකඟ නොවන බව කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත ලංකසර ට පැවසීය.
මෙම සම්මන්ත්‍රණයට පොදුජන පෙරමුණ (පොහොට්ටුව ) පක්ෂයෙන් සහභාගී වූ එකම පාර්ලිමේන්තු නියෝජිතයා දොලෙවත්ත වූ බැවින් ඔහු සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු වු අතර ඒ පිළිබඳව අප කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.
තමන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස සාමූහිකත්වයට ගරු කරන බවත් එසේ වුවද ආණඩු පක්ෂයෙන් රටට අහිතකර යම් තත්ත්වයක් උදා වන්නේ නම් ඒ පිළිඳව අවංකව අදහස් දැක්වීමට තමා කිසිවිටෙක පසුබට නොවන බවත් තවදුරටත් රටට අහිතකර යම් යම් දේ සිදුවන අවස්ථාවල දී තමන් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටීමට බලාපොරොත්තු වන බවත් දොලවත්ත තවදුරටත් පැවසීය.
“ මම මේ බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් මීට කලින්ද විවෘත ව අදහස් දැක්වූවා. මේ එල්.එන්.ජී වායු සැපයීමේ ඒකාධිකාරයක් එක සමාගමක් අතට පත්වීම නුසුදුසු බව මගේත් විශ්වාසයයි. ඔබට මතක ඇති මම 20 වැනි සංශෝධනය ගේන අවස්ථාවේදීත් එහි පවතින අහිතකර තත්ත්ව පිළිබඳව ප්‍රසිද්ධියේම අදහස් දැක්වූවා.“
“මම මුල ඉඳලම රට වෙනුවෙන් හිතලා සමාජ සාධාරණය වෙනුවෙන් වැඩ කළ කෙනෙක්. විපක්ෂයේ සිටියදී අපට ආව චෝදනා හමුවේ ඉතාම කැපවීමෙන් නැවැරදිව රට ජාතිය ගැන හිතල කටයුතු කළා. එහෙම කටයුත කළාම බොහෝ අය අප වහල්ලු කියල විවේචනය කළා. නමුත් අපි හිටගන්නේ රට පැත්තේ. එය ඉදිරියටත් එසේම සිදුවේවි.“ යයිද මන්ත්‍රි නීතීඥ දොලවත්ත පැවසීය.







