ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයින් සහ වෘත්තිය සමිති නායකයින් අතර විශේ හමුවක් ඊයේ (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන කාර්යාලයේ දී පවත්වා තිබිණි.
රැස්වීම අවසානයේ දී හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු සහෝදර පක්ෂ 11ක් ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව පැවැත්වූ බවය.
“වෘත්තීය සමිති විසින් ඒ අයගේ අදහස් ඉදිරිපත් කළා අද පවතින තත්ත්වය ගැන. අපි සාවධානව අහගෙන හිටියා. අපි දැනුම් දුන්නා ඒ කරුණු ගැන පක්ෂ 11ක නියෝජිතයින් රජයේ පාර්ශවයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව . ”
ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ එල්.එන්.ජී බලාගාරය සම්බන්ධව ආණ්ඩුව ඉතා වැරදි සහගත තීන්දුව පිළිබඳ පක්ෂ නායකයින් දැනුම්වත් කළ බවත් ඔවුන් අතිශය සාවධානව අහුම්කන් දුන් බවත් ය.
” ඒ අයට වැටහුණා මේ ආණ්ඩුව ගත්ත තීරණය බරපතළ බව. නමුත් ඒ අය ආණ්ඩුවේ පක්ෂ නිසාම ඒ අයට පුළුවන්කමක් තිබුණේ නෑ මේ මොහොතේ කියන්න මේක හරිද වැරදි ද කියලා. අපිට හිතුනා ඒ අය මේකේ වැරුද්ද තේරුම් ගත්තා කියලා. ඔවුන් පොරොන්දු වුණා මේ ගැන සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් අපිව කැඳවනවා කියලා. රන්ජන් ජයලාල් මාධ්‍යයට කීවේය.







