කාබනික පොහොර පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය වෙනස් කිරීම සඳහා කෘෂිකර්ම ඇමතිවරයා ප්රමුඛ බලධාරීන් සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
විදේශයකින් ගෙන්වන කාබනික ද්‍රව්‍යවල කිසිම ක්ෂුද්‍රජීවියෙක් නොසිටිය යුතු බවට දක්වමින් දක්වා තිබූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 1704 ප්‍රමිතිය මෙසේ වෙනස් කිරීමට සූදානම් වේ.
මෙම ප්‍රමිතිය මේ ආකාරයෙන් පනවා තිබුණේ ක්ද්රජීවීන්ගේ පවතින අති විශාල සංකීර්ණ පැතිරීම හා ඒ ඒ පරිසර පද්ධතිවල දී පැවැත්ම පිළිබඳ පූර්ණ වශයෙන් විද්‍යාත්මක විවරණයක් කළ නොහැකි වීම නිසාය.
මේ පිළිබඳව පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මෙම පොහොර පිළිබඳ ප්‍රමිතිය රට තුළ පොහොර නිශ්පාදනය කරන කිසිම නිශ්පාදකයෙකුට අනිවාර්ය නැති බවය.
“මෙම ප්‍රමිති සහතිකය රට ඇතුළේ නිශ්පාදකයන්ට අවශ්‍ය නම් පමණක් ගත හැකි ස්වේච්ඡා ප්‍රමිතියක්.
නමුත් පිටරටින් ආනයනය කරන ඕනෑම පොහොරක් ලංකාවේ ප්‍රමිතියට යටත් විය යුතුයි. එසේ නොමැති අවස්ථාවක එංගලන්තයේ ප්‍රමිතියට අනුකූල විය යුතුයි . මේ බව 1988 අංක 68 දරන පොහොර නියාමන පනතේ පැහැදිලිව දක්වා තිබෙනවා.“
“කුමන ආනයනික පොහොර වර්ගයක් වුවත් මේ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි. එසේ නොමැති වන ඕනෑම අවස්ථාවක ලංකාවේ පරිසරයට ඉන් බලපෑමක් ඇතිවිය හැකියි. ආනයනික ඝණ කාබනික පොහොර ජීවානුහරණය කළ යුතු බවට ප්‍රමිතියක් ඇත්තේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිණිසයි.“
“යම් හෙයකින් ප්‍රමිති වෙනස් කිරීමක් සිදුවන්නේ නම් ඒ ඔස්සේ කුමන රටකින් කුමන ආනයනික පොහොර ගෙන්වනු ලැබුවද ශ්‍රී ලංකාව තුළ පරිසර පද්ධතීන්ට දැඩි බලපෑමක් ඇතිවන බව කිව හැකිය“
මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.







