ලලිත් චාමින්ද –
“අරලිය උණවටුණ පුද්ගලික සමාගම“ විසින් මිලදිගෙන ඇති උණවටුණ මිල්ටන් හෝටලය පිහිටි භුමිය හා වෙරළ ගොඩකරනු ලැබු භූමියේ කොටසක් තුළ අධි උසැති හෝටල් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය බලතල ඉක්මවා ක්‍රියාකරමින් සිටින බැව් උණවටුණ සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි.
එම භුමියේ කාමර 40කින් පමණ සමන්විත අධිඋසැති හෝටල් ව්‍යාපෘතියක් සඳහා අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් ඊට අදාල මුලික පරිසර ඇගයිම් වාර්තාවක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘති යෝජකයාගෙන් ඉල්ලා ඇති බවත් සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති නිතිඥ රූපසේන කොස්වත්ත විසින් පෙන්වා දෙයි.
මේ පිළිබද උණවටුණේ පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් රුපසේන කොස්වත්ත මෙසේ කීවේය..

මිල්ටන් හෝටලයම නීති විරෝධීයි
“ මිල්ටන් හෝටලය පිහිටි භුමිය තුළ පිහිටි සියලු ගොඩනැගිලි වෙරළ සංරක්ෂණ නිතියට හා නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසිවලට පටහැනිව තමයි ඉදිකරලා තිබුණේ. එම හෝටල් හිමියා විසින් නීති විරෝධිලෙස මුහුදේ කොටසක් ගොඩකර නීතියට පටහැනිව හිමිකම් පාමින් එවා භුක්තිවිඳිමින් සිටියා. මේ නිසා මුහුදු වෙරළ දිගේ නිදහසේ පිවිසීමට හෝ ලඟාවිමට මහජනතාවට ඇති හිමිකම නැතිවුනා.“
“ ඒ විතරක් නෙවෙයි වෙරළේ ස්ථායිතාවයට හා ඵලදායිතාවයට මේ නිසා දැඩි බලපැමක් ඇතිවුනා. මුහුදු වෙරළේ කොටසක් ගොඩකර නීතියට පටහැනිව භුක්තිවිදමින් සිටි කොටසත් සමග තමයි අරලිය පුද්ගලික සමාගම විසින් නිති විරෝධි අයුරින් මිලදිගෙන තියෙන්නේ. දැනට මෙම භුමියේ තිබු එම ගොඩනැගිලි වත්මන් හිමිකරුවන අරලිය පුද්ගලික සමාගම විසින් ඉවත්කරලා තියෙනවා.

නීති විරෝධී හෝටලය මිලදී ගෙන කරන නීති විරෝධී ඉදිකිරීම්
මුහුදු ගොඩකරපු භුමියේ ගොඩනැගිලි ඉදිකිරිමට අනුමැතිය ලබාදිමට වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුවට නීතියෙන් හිමිකමක් නැහැ. පෙර හෝටල් හිමියා විසින් මුහුදු වෙරළේ කොටසක් තමයි ගොඩකරලා තියෙන්නේ. එහි නීති විරෝධිලෙස ගස් පැළ සිටුවා ඇති ප්‍රදේශය ස්ථිර තුරුලතා තීරය ලෙස සැලකිමට හා ගොඩකර ඇති වෙරළ කොටස වෙරළ කළමණාකරණ සැලසුමේ සඳහන් වෙන්කළ හා සිමාකළ ප්‍රදේශය ලෙස සැලකීමටත්, ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ස්ථානයක් ගොඩනැගිලි ඉදිකිරිමේ සිමාව ලෙසත් සැලකීමටත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් ඉඩක් නැහැ. මුහුද ගොඩකරපු භුමිය අයිති රජයට. නැතිනම් මහජනතාවට.“

“ඒ විතරක් නෙවෙයි… ඇතැම් ව්‍යාපාරික ස්ථානයක් වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධානයන් උල්ලංඝණය කරමින් ව්‍යාපාර ගොඩනැගිලි ඉදිකරනවා. නමුත් එම ගොඩනැගිලි සඳහා එකඟතා ලිපි නිකුත්කොට එම ව්‍යාපාරික ස්ථාන නීත්‍යානුකූල කිරීමට වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව කටයුතු කරනවා. “
“මුදල් හා බලය ඇති සුළුතර ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පමණක් රිසි සේ ව්‍යාපාර ස්ථානයක් වෙනස්කරගැනීමට ඉඩකඩ ලබාදෙනවා. නමුත් පාරම්පාරික සුළු පරිමාන ව්‍යාපාරිකයන්ට පමණක් වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව මගින් නිතිය දැඩිලෙස ක්‍රියාත්මක කරනවා..“ රූපසේනකොස්වත්ත පවසයි.







