රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන ඇතැම් වෛද්‍ය සංගම් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී ඒ ගැන කතා නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන බව ලංකාදීප වාර්තා කරයි.
රට සති දෙකක් වසා දමන්නැයි කියන වෛද්‍ය සංගම්වල නියෝජිතයන් ඒ කාර්ය සාධක බලකා රැස්වීමට සහභාගී වූයේ යැයි ද යුද හමුදාපතිවරයා කියයි.
කියන දෙයක් ජනාධිපතිතුමා සිටින රැස්වීමේදී ප්‍රකාශ කළේ නම් ඒ ගැන නම් පුළුල්ව සාකච්ඡා කර යම් තීරණයක් ගැනීමට අවකාශ සැලසෙන බවත් රැස්වීමේදී කතා නොකළ දෙයක් පසුව රූපවාහිනි ප්රවෘත්ති ප්‍රකාශවලදී අසන්නට ලැබුණු බවත් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
සාකච්ඡාව අවසානයේදී තවත් කිරීමට අතපසු වූ දේවල් ඇත්දැයි වෛද්‍යවරුන්ගෙන් විමසන බව පැවසූ යුද හමුදාපතිවරයා ඒ කිසිම අවස්ථාවකදී මෙවැනි කාරණයක් ගැන අදහසක් ඉදිරිපත් නොවූ බවද පැවසුවේය
පසුගිය සාකච්ඡාවලදී වෛද්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව රටපුරා විවිධ සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කී හමුදාපතිවරයා සියලු කොරෝනා පාලන කටයුතු සිදු කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යැයි ද අවධාරණය කළේය. වෛද්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් ඉවත දැමීමට සූදානමක් නැතැයි ඔහු වැඩිදුරටත් කීය .
කෙසේ වෙතත් වෛද්‍ය සංගම් නියෝජිතයන් පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා හමුවී කිව යුතු සියලුම ආකාරයට කරුණු දැක්වූ බවත් ඉන් කිසිම ප්‍රතිඵලයක් නැති බැවින් රට සහ ජනතාව වෙනුවෙන් කල්පනා කර මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා රටට තම විශේෂඥ මතය ප්‍රකාශ කළ බවත්ය.







