අසාධාරණයට එරෙහිව පෙනී සිටීම සම්බන්ධව තමන් සැබෑ ලෙසම ආඩම්බර වන බවත්, ලෝක විවාහක රූ රැජන සංවිධායකවරුන්ද අනුමත නොකරන දුස්ප්රයෝගයන්ට අසාධාරණයන්ට එරෙහිව තමන් නැගී සිටි බවත්, අයුතු, අසාධාරණ සහ අයුක්තිසහගත වටපිටාවක ලෝක විවාහක රූ රැජන කිරුළ හිස පැළඳීම, එම කිරුළේ අරමුණු සහ සියලු කාන්තාවන්ගේ අයිතිය පාවා දීමක් බැවින් තමන් කිරුළ අත්හරින බවත් ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළු දරා සිට කැරොලයින් ජූරි ඇමරිකාවේ ලෝක විවාහක රූ රැජන සංවිධායන්ට ලිඛිතව දන්වා ඊයේ (20) සිය කිරුළ අත්හැරියාය.
ඒ අනුව ලෝක විවාහක රූ රැජන සංවිධායකවරුන් සමග 2019 නොවැම්බර් 04 දා එළැඹි අවබෝධතා ගිවිසුම අවසන් කරන බවත් ඇය දන්වා යවා තිබිණි.
වර්ෂ 2019 ලෝක විවාහක රූ රැජන තරගයෙන් කිරුළ දිනා ගනු ලැබුවත් නිරූපණ සහ විලාසිතා ක්ෂේත්රයට අමුත්තෙක් වූ තමාට එම ක්ෂේත්රයේ උපාය, ප්රයෝග සහ විජ්ජාවන් තවමත් නෙවැටහෙන බවත් තමන් පෙනී සිටින්නේ සාධාරණ අවස්ථා වෙනුවෙන් පමණක් බවත් ඇය සිය ලිපියේ සඳහන් කර තිබුණාය.
වර්ෂ 2020 ශ්රී ලංකා විවාහක රූ රැජන තේරීමේ තරගයේ දී සිදුවූ බලපෑම්, බලපුලුවන්කාරකම්, සහ වෘත්තීය ගෞරවය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටීමට තමන්ට නොහැකි වූ බව පෙන්වා දෙන කැරොලයින් ජූරි අසාධාරණකම් සම්බන්ධව ඉව වැටුණු මොහොතේ සිට ඒවා ප්රශ්න කළ බවත්, අවසානයේ වගකීම් සහගතව ක්රියා කරන ලෙස දන්වා අනතුරුව ඒ සම්බන්ධව ලෝක විවාහක රූ රැජන සංවිධායකවරුන්ද දැනුවත් කර විනිශ්ඡය මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ බවත්, තමන් පෙනී සිටියේ කිසිදු අසාධාරණයකින් හෝ අයුතු බලපෑමකින් තොරව තමන්ට සමාන සහ සාධාරණ ලෙස සලකනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඒ තරගයට පැමිණි සියලු තරගකාරියන් වෙනුවෙන් බවත් කීවාය.
ලෝක විවාහක රූ රැජන කිරුළ නියෝජනය කරන්නේ විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් සහ වගකීම් දරමින්ම තම සිහින ජයගන්නා විවාපත් කාන්තාවන් මිස තරග නීති රීතිවලින් රිංගා යෑම්, අයුතු බලපෑම් කිරීම් සහිත අසාධාරණය ජයග්රහණය සඳහා යොදවන අයවලුන් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය.
කැරොලයින් ජූරි විසින් ලෝක විවාහක රූ රැජන සංවිධායකයන් වෙත යොමු කළ ලිපියේ සිංහල පරිවර්තනය
පහත දැක්වේ.







