ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් . ගතවූ පැය 24 ක කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු මරණ 3ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත මඟින් අනාවරණය වේ.
ඒ අනුව මේ වසරේ (2026) මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇත.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව ජූලි 17 වනදා වනවිට වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,478ක් වන අතර එය 75,000 සීමාවට ආසන්න වෙමින් පවතී. ජූලි මාසයේ ගතවූ පළමු දින 17 තුළ පමණක් රෝගීන් 19,100කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
වැඩිම බලපෑම බස්නාහිර පළාතට වර්තමාන දත්තවලට අනුව මෙරට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඉන් අතිශයින්ම ඉහළ ඩෙංගු රෝගීන් ව්‍යාප්තියක් පෙන්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වනවිට රෝගීන් 15,596 දෙනෙකු හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ශීඝ්‍රයෙන් වැඩි විය හැකි බැවින්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට මහජනතාව උපරිම සහයෝගය දැක්විය යුතු බවයි.







