අසේල කුරුළුවංශ
වසර හයක සේවා කාලයක් සම්පූර්ණ කර දිවයිනෙන් පිටව යන චීන තානාපතිවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවැති සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කිරීම සඳහා සුවිශේෂී සේවාවක් කළ බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමියෝ පැවසූහ.
පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම, දිට්වා සුළි කුණාටු අවස්ථාවේ රට යළි ගොඩනැගීම සඳහා ආධාර ලබාදීම ඇතුළු බොහෝ දේවල් චීන තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණු බවත්, තානාපතිවරයෙකුගේ කාර්යභාරය නිවැරදිව තේරුම් ගෙන චීනය වෙනුවෙන් ඔහු කළ සේවය පිළිබඳව ශ්‍රී ලංකාව මෙන්ම චීන රජය ද සතුටු වනු ඇති බවත් උන්වහන්සේ කීහ.
මල්වතු මහානායක හිමියන් මේ බව පැවසුවේ මෙම මස 31 වැනිදායින් වසර 06 ක සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් (Qi Zhenhong) ඊයේ (17) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

වසර 06 ක කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ තානාපති ලෙස සේවය කරන්නට චීන රජය චී ෂෙන්හොන්ට අවස්ථාව ලබා දුන්නේ තානාපති ධුරයේ කාර්යභාරය ඉතා වගකීමෙන් හා කැපවීමෙන් ඉටු කිරීම හේතුවෙන් බව තමන් වහන්සේ විශ්වාස කරන බවත්, විශ්‍රාම යන තෙක්ම මෙරට සේවය කළා නම් හොඳ යැයි සිතෙන බවත් මහානායක හිමියෝ පැවසූහ.
මහිදී අදහස් දැක්වූ චීන තානාපති චී ෂෙන්හොන් ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රජය සහ සෙසු දේශපාලන පක්ෂ හා ජනතාව දැක්වූ සහය අගය කරන්නේ යැයි පැවසුවේය. ශ්‍රී ලංකාව තම දෙවන නිවස ලෙස තමන්ට දැනෙන බවත්, සේවය නිමාකර පිටව යන්නට සූදානම් වන මේ අවස්ථාවේ තවත් සේවය කරන්නට තිබුණා වැනි හැඟීමක් තමන් තුළ ඇතිව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ තානාපති ලෙස සේවය කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව තමන් උපරිම ලෙස සතුටු වන බවත්, තමන් රට තුළ සිටි කාලයේදී ශ්‍රී ලංකාවේ නොයෙකුත් අර්බුද ඇතිවූ බවත් කී චී ෂෙන්හොන්, ඒ සෑම අවස්ථාවකදීම චීන රජය ශ්‍රී ලංකාවේ සහයට සිටිමින් ආධාර උපකාර කළ බවද ප්‍රකාශ කළේය.

බෞද්ධාගමික රටවල් දෙකක් ලෙස දෙරට අතර පවතින සම්බන්ධතාව දිනෙන් දින වර්ධනය වන බවත්, ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා මිතුදම පළුදු වීමට කිසිදු හේතුවක් සොයා ගැනීමට නොහැකි බවත් චී ෂෙන්හොන් කීවේය.
අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැක චීන තානාපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය. මහා විහාර සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් චීන තානාපතිවරයා ජාතික හා ආගමික වශයෙන් සිදුකළ සේවාව උන්වහන්සේ විසින් ද ඇගයීමට ලක් කරනු ලැබූහ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ චීන තානාපතිවරයා වත්මන් රජයේ ප්‍රතිපත්ති සමඟ චීන රජය සම්පූර්ණයෙන්ම එකඟවන බවත්, ඒවා ක්රියාවේ යෙදවීමෙන් ශ්‍රී ලංකාව දිනෙන් දින දියුණුව කරා ගමන් කරමින් සිටින බවත් පැවසුවේය. පෙර පරිදිම ඉදිරියටත් චීනය ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා සහයෝගය දක්වන බවට කිසිදු සැකයක් නොමැති යැයි ද ඔහු කීය.
මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල, මහනුවර පලිපාන ශ්‍රී චන්දානන්ද විදුහලේ විදුහල්පති ගොඩගම ධම්මකිත්ති, අලවතුගොඩ මානාගල විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පරණගම ඥානවිමල යන නාහිමිවරු ද සහභාගි වූහ.









