උපේක්ෂා උඩුවැරැල්ල –
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුවේ පළමු වැනි විත්තිකරු වන නවුෆර් මවුලවී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දී ඇති පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් ලබා දුන් එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (23) තීරණය කළේය.
සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන, මෙහොමදු ඊබ්‍රහීම් මොහොමදු නවුෆර් හෙවත් අබු හෙයිබ් හෙවත් අබු සරීන් හෙවත් නවුෆර් මවුලවී නමැති මෙම විත්තිකරු 2019 නොවැම්බර් 11 වැනිදා CID මූලස්ථානයේ දී සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා ඉදිරියේ මෙම ප්‍රකාශය ලබා දී තිබුණි.
මහාධිකරණ විනිසුරුවරුන් වන රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව, ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ඊයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
අදාළ කටඋත්තරය ස්වේච්ඡාවෙන් ලබා දී ඇතිද යන්න විමර්ශනය කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ‘වෝයර් ඩයර්’ (Voir Dire) සත්‍යතා පරීක්ෂණයක් පවත්වා තිබූ අතර, එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දුන් එකක් බවට තහවුරු කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් හතර දෙනෙකුගේම පාපොච්ඡාරණ මේ වන විට ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බවට අධිකරණය හමුවේ තහවුරු වී ඇත. ඒ අනුව පළමු විත්තිකාර නවුෆර් මවුලවී, 7 වැනි විත්තිකාර මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා, 9 වැනි විත්තිකාර මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් සහ 11 වැනි විත්තිකාර කාලිඛ් සමීර් යන අයගේ පාපොච්ඡාරණ එලෙස ස්වේච්ඡාවෙන් ලබා දුන් ඒවා බවට නිගමනය කර තිබේ.
මේ අතර නඩුවේ 18 වැනි විත්තිකරු වන රාසික් රාසා හුසේන්ගේ පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් ලබා දී ඇත්ද යන්න පිළිබඳ අධිකරණ නියෝගය ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
“Voir Dire” පරීක්ෂණයක් යනු කුමක් ද?
“Voir Dire” යනු පැරණි ප්‍රංශ බසින් බිඳී ආ වචනයකි. එහි සරල අර්ථය “ඇත්ත ප්‍රකාශ කිරීම” (To speak the truth) යන්නයි. නීති ක්ෂේත්රයේ දී, විශේෂයෙන්ම අපරාධ නඩුවක ප්‍රධාන සාක්ෂි විභාගයට පෙර, යම් සාක්ෂියක් හෝ පාපොච්ඡාරණයක් අධිකරණය ඉදිරියේ සාක්ෂියක් ලෙස පිළිගත හැකිද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පවත්වන “නඩුවක් ඇතුළේ පවත්වන තවත් කුඩා නඩු විභාගයක්” (Trial within a trial) වැනි විශේෂ සත්‍යතා පරීක්ෂණයක් ලෙස Voir Dire තේරුම් ගත හැකිය. .
ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සාක්ෂි ආඥාපනත අනුව, මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය සහ එහි වැදගත්කම සරලව මෙසේ පෙළගස්වා දැක්විය හැකිය.
-
‘වෝයර් ඩයර්‘ පරීක්ෂණයක් පවත්වන්නේ ඇයි?
ලංකාවේ නීතියට අනුව විත්තිකරුවෙකු පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දෙන පාපොච්ඡාරණයක් නඩුවක සාක්ෂියක් ලෙස කෙලින්ම භාවිත කළ නොහැක. එය සාක්ෂියක් ලෙස පිළිගැනීමට නම්, විත්තිකරු එය ලබා දී තිබිය යුත්තේ තම ස්වේච්ඡාවෙන්ම (Voluntarily) පමණි.
යම් හෙයකින් විත්තිකාර පාර්ශවය, “මෙම ප්‍රකාශය මා ලබා දුන්නේ පොලිසිය මට තර්ජනය කර, පහර දී හෝ බියගන්වා ” යැයි අධිකරණය ඉදිරියේ යම් අයෙක් විරෝධතාවක් මතු කළහොත්, විනිසුරු මඩුල්ල ප්‍රධාන නඩු විභාගය තාවකාලිකව නවතා දමයි. ඉන්පසු එම පාපොච්ඡාරණය ඇත්තටම ස්වේච්ඡාවෙන් දුන් එකක්දැයි සෙවීමට Voir Dire සත්‍යතා පරීක්ෂණය ආරම්භ කරයි.
-
ක්‍රියාත්මක වන ආකාරය (The Process)
සාක්ෂි කැඳවීම: මෙම පරීක්ෂණයේදී ප්‍රකාශය සටහන් කරගත් ප්‍රධාන පොලිස් නිලධාරියා, අවශේෂ නිලධාරීන් හා ඊට සම්බන්ධ සාක්ෂිකරුවන් සහ අවශ්‍ය නම් විත්තිකරුද සාක්ෂි කූඩුවට කැඳවනු ලැබේ.
හරස් ප්‍රශ්න ඇසීම: විත්තිකාර පාර්ශවයේ නීතිඥයින් විසින් පොලිස් නිලධාරීන්ගෙන් තීව්ර ලෙස හරස් ප්‍රශ්න අසමින්, ප්‍රකාශය ගන්නා අවස්ථාවේ බලපෑම් කළ බව ඔප්පු කිරීමට උත්සාහ කරයි. පැමිණිලි පාර්ශවය (රජයේ නීතිඥයින්) එය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව සහතික කිරීමට කරුණු දක්වයි.
විනිසුරු තීරණය: ඉදිරිපත් වන සාක්ෂි සියල්ල අධ්‍යයනය කර, කිසිදු බලපෑමක් වී නැති බව විනිසුරුවරුන්ට තහවුරු වුවහොත් පමණක් එම පාපොච්ඡාරණය ප්‍රධාන නඩුවේ සාක්ෂියක් ලෙස භාවිත කිරීමට අවසර දේ. බලපෑමක් වී ඇතැයි පෙනී ගියහොත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙයි.
-
මෙහි ඇති නීතිමය වැදගත්කම කුමක්ද?
මානව හිමිකම් ආරක්ෂා වීම: වධහිංසා පමුණුවා හෝ බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඕනෑම අයෙකු වැරදිකරුවෙකු කිරීමේ අවස්ථාව මින් වැළකෙයි.
සාක්ෂිවල නීත්‍යානුකූලභාවය: අධිකරණයක් තීන්දුවක් දිය යුත්තේ නීත්‍යානුකූලව ලබාගත් පිරිසිදු සාක්ෂි මත පමණක් යන පදනම මින් සුරැකේ.









