තෙල්දෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ කාන්තාවක මියගොස් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු, අධිකරණ කිහිපයක විභාග වන මහා පරිමාණ මූල්‍ය වංචා රැසකට සම්බන්ධ අයකු බව ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරු සහ ඔහුගේ 35 හැවිරිදි බිරිඳ ඊයේ (24) අලුයම යාපනය ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පසුගිය ජුනි 17 වැනිදා තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි කාන්තාවක මියගොස් සිටියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මොවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම නඩුව මේ වන විට නුවරඑළිය පොලිසිය වෙත පවරා තිබේ.
පොලිසිය පවසන පරිදි, සැකකරු විසින් විවාහ පොරොන්දු ලබාදීම, වාහන මෙරටට ගෙන්වා දීම සහ විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම ආදී විවිධ වංචනික ක්‍රමවේද ඔස්සේ පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත. ඔහුට එරෙහිව දැනට අධිකරණයන්හි විභාග වන නඩු කිහිපයක් මෙසේය:
-
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන රුපියල් මිලියන 11.87ක මුදල් වංචාවක් සහ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස පරිහරණය කිරීමේ නඩුව.
-
අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන රුපියල් මිලියන 1.72ක මූල්‍ය වංචා නඩුව.
-
අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේම විභාග වන රුපියල් මිලියන 1.37ක තවත් වංචා නඩුවක්.
-
තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන වාහන මෙරටට ගෙන්වා දෙන බව පවසා සිදුකළ රුපියල් මිලියන 2.2ක වංචා නඩුව.
-
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අලුත්කඩේ, හොරණ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවල පවරා ඇති තවත් වෙනත් නඩු හතරක්.
-
විදේශගත කරන බව පවසා රුපියල් මිලියන 4.2ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව.
තෙල්දෙණිය කාන්තා මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය. පොලිස් නිවේදනය පහත දැක්වේ.








