ඉන්දියාවේ ජාතික පැරා මලල ක්‍රීඩකයෙක් වූ චිරාග් ත්‍යාගී වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම වෙඩි තැබීම සම්බන්ධව ඔහුගේ මිතුරෙක් වූ තවත් ඉන්දීය ජාතික මට්ටමේ පැරා මලල ක්‍රීඩකයෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනය සිදුවී ඇත්තේ පැරා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා චිරාග් තාගී සුදුසුකම් ලබා දින කිහිපයකට පසුව වීම විමර්ශන අංශවල විශේෂ අවධානයට යොමු වී ඇත.
උත්තර ප්‍රදේශ්හි මුරාද්නගර් හි පදිංචිකරුවෙකු වන චිරාග් ත්‍යාගීගේ මළසිරුර ඝාසියාබාද්හි සායි උපවන් ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත. ත්යාගීව වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය තහවුරු කර කරගෙන තිබේ.
මියයෑමට දින දෙකකට පෙර, බැංගලෝර්හි පැවැති ජාතික ශූරතාවලියේදී මීටර් 400 ධාවන තරඟයෙන් රන් පදක්කමක් දිනා ගනිමින්, මේ වසරේ අගභාගයේදී ජපානයේ පැවැත්වීමට නියමිත පැරා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ත්‍යාගී සමත්ව සිටියේය.
පොලිසියට අනුව, ත්‍යාගී එදින උදෑසන තම ගම්මානය බලා යාම සඳහා දිල්ලියේ පිහිටි නේවාසිකාගාරයකින් පිටත්ව ගොස් ඇත. පසුව ඔහුගේ සිරුර සායි උපවන් ප්‍රදේශයෙන් හමුවී තිබේ. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහුට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති බවය.
මෙය පැහැදිලිවම ඝාතනයක් බව මූලික පරීක්ෂණවලින් පෙනී යන බව පොලිසිය ප්‍රකාශ කළේය. ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය වී ඇති අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකාර පැරා මලල ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.
පොලිසියට මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත්තේ ඊයේ (30) දිනයේ පස්වරු 3 ට පමණය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර යොමු කර ඇත.
ත්‍යාගීගේ පවුලේ අයට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, විමර්ශනයේ කොටසක් ලෙස ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. ඝාතනයට හේතුව සහ ඒ පිටුපස ඇති පසුබිම අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.







