ඉඳුනිල් කහටපිටිය –
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ කැඳවනවාද නැද්ද යන නියෝගය ලබන ජුනි මස 2 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) තීන්දු කළේය.
මෙම මරණ පරීක්ෂණය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් විය.
එහිදී මියගිය කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවේ නීතිඥවරුන් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ අධිකරණයේ පෙනී සිටියහ. ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ තේජිත කෝරලගේ සඳහන් කළේ අධිකරණය විසින් මෙතෙක් සිතාසි නිකුත් කර නොතිබුණද, මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ඔවුන් මෙලෙස පෙනී සිටි බවයි.
-
නීතිඥ-සේවාදායක රහස්‍යභාවය පිළිබඳ ගැටලුවක්
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370(5) වගන්තිය ප්‍රකාරව මෙම නීතිඥවරුන් දෙදෙනාගෙන් සාක්ෂි විමසීම අවශ්‍යදැයි සොයා බලන ලෙස ඉල්ලා සිටියේය. සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති 30 සිට 34 දක්වා ප්‍රතිපාදන අනුව නීතිඥවරයෙකු තම සේවාදායකයා සමඟ පවත්වන වෘත්තීය සන්නිවේදනයේ රහස්‍යභාවය රැකීමට බැඳී සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
මරණයට හේතුව සෙවීමේ පරීක්ෂණයට මෙම රහස්‍ය තොරතුරු කොතරම් දුරට අදාළ වන්නේද යන්න සලකා බලන ලෙස සභාපතිවරයා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
-
පොලිසිය හෙළි කළ දුරකථන සංවාදය
මහෙස්ත්‍රාත්වරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ අදාළ නීතිඥවරුන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. විමර්ශන ප්‍රගතිය පැහැදිලි කරමින් පොලිසිය මෙසේද සඳහන් කළේය:
“කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මියගිය කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් නියම කර තිබුණද, ඇපකරුවන්ගේ ගැටලුවක් මත ඔහු බන්ධනාගාරගතව සිට මැයි 6 වනදා නිදහස් වුණා. පසුව මැයි 7 වනදා ඔහුට යළි වරෙන්තුවක් නිකුත් වුණා. “
“එදින සවස් කාලයේ පිරිසක් අරවින්ද ද සිල්වා මාවතේ පිහිටි නිවසකට පැමිණ, අනතුරුව ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්නගේ නිල මැදිරිය වෙත ගොස් සාකච්ඡා කර තිබෙනවා. එහිදී අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් ජනාධිපති නීතිඥවරයා සහ කපිල චන්ද්‍රසේන අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව හෙළි වුණා. එම සාකච්ඡාවේ අන්තර්ගතය අනාවරණය කර ගැනීමටයි මෙම නීතිඥවරුන් සාක්ෂියට කැඳවීමට අපේක්ෂා කරන්නේ.”
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් පසන් අමරසේන, නීතිඥවරුන් සාක්ෂියට කැඳවන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ජූනි 02 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. එතෙක්, ඉදිරියේදී සිතාසියක් නිකුත් වුවහොත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ වෙත අවවාද කෙරිණි.
මෙම නඩුවේ සෙසු සාක්ෂිකරුවන් දෙදෙනෙකුටද එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ අතර, කොළඹ අපරාධ කොට්ඨාශය CCTV දර්ශන සහ දුරකථන ජාල විශ්ලේෂණ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන බව අධිකරණයට වාර්තා කළේය







