දිනසේන රතුගමගේ –
යාපනය නගරය තුළ පිහිටි රුපියල් කෝටි හතක් පමණ වටිනා රාජ්‍ය ඉඩමක්, යාපනය මහ නගර සභාවේ සහ දිසාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සාමාන්‍ය පුද්ගලයකු විසින් වංචනික ලෙස ඔහුගේ නමට ලියාගෙන ඇති බව හෙළි වී තිබේ.
මීට වසර එකහමාරකට පමණ ඉහතදී මෙම මහා පරිමාණ ඉඩම් වංචාව සිදු කොට ඇත. මෙම ඉඩම් මංකොල්ලය පිළිබඳව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥාණම් මීට පෙර යාපනය මහ නගර සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණ ද, එම නිලධාරීන් ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු කර නොතිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, අදාළ ඉඩම සම්බන්ධයෙන් බදු ගෙවීමට යාමේදී මතු වූ සැකයක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයකදී මෙම ඉඩම වංචනික ලෙස වෙනත් අයෙකුගේ නමකට ලියාගෙන ඇති බව නිල වශයෙන් තහවුරු වී ඇත.
මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එහිදී ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම මෙම වංචනික ක්‍රියාවට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ද ආණ්ඩුකාරවරයා උපදෙස් දී ඇත.
ආණ්ඩුකාරවරයාගේ නියෝගයට අනුව යාපනය මහ නගර සභාවේ බලධාරීන් මේ වන විට වංචාවට එරෙහිව උපරිම නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටී.







