ශ්‍රියානි විජේසිංහ –
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුතු, යල්පැනගිය විකිරණ ආරක්ෂිත කබා සහ උපකරණ තොගයක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරමින් සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කරයි.
මෙම විකිරණ ආරක්ෂිත උපකරණ භාවිත කරනු ලබන්නේ හෘද කැතීටරකරණ ඒකක සහ විකිරණ භාවිතයෙන් පරීක්ෂණ හා ප්‍රතිකාර සිදු කරන ශල්‍යාගාරවල සේවය කරන වෛද්‍යවරුන්, විකිරණ තාක්ෂණවේදීන් ඇතුළු අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.
මෙම මිලදී ගැනීම යටතේ විකිරණ ආරක්ෂිත කබා 670ක්, විකිරණ ආරක්ෂිත හිස ආවරණ 250ක්, ආරක්ෂිත කණ්ණාඩි 260ක් සහ තයිරොයිඩ් ආරක්ෂක 500ක් ඇතුළු උපකරණ තොගයක් ඇණවුම් කර ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.
ආරක්ෂාවෙන් ඉහළ, දිගුකාලයක් භාවිත කළ හැකි නවීන උපකරණ වෙළඳපොළේ තිබියදී, වෛද්‍ය සැපයුම් අංශය විසින් පැරණි තාක්ෂණයට අදාළව පිරිවිතර ලැයිස්තුව (Specifications) සකස් කර ඇති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි. මේ පිළිබඳව දීර්ඝ කාලයක සිට වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කළ ද, නව තාක්ෂණික උපකරණ සඳහා අවශ්‍ය පිරිවිතර ලේඛනය සකස් නොකිරීම කණගාටුවට කරුණක් බව හෙතෙම අවධාරණය කරයි.
ලැබී ඇති තොරතුරුවලට අනුව, දැනට කැඳවා ඇති ටෙන්ඩරයට අනුකූලව ඉදිරි කටයුතු සිදුවෙමින් පවතින අතර, මෙම පැරණි තාක්ෂණයෙන් යුතු උපකරණම මිලදී ගැනීමට බලධාරීන් සූදානම් වන බව ද වාර්තා වේ.
එබැවින් මෙම ගැටලුව කෙරෙහි කඩිනම් අවධානය යොමු කර, සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කල්පැවැත්මෙන් යුතු නවීන විකිරණ ආරක්ෂිත උපකරණ ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.







