දිනසේන රතුගමගේ –
යාපනයේ සිට කතරගම දක්වා වැටී ඇති දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් ගන්නා වාර්ෂික ඉතිහාසගත සංස්කෘතික චාරිකාවක් වූ පාද යාත්‍රාව මෙවරත් විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ ( 23 ) යාපනයේ පේදුරුතුඩුව සෙල්වසන්ධි මුරුගන් කෝවිලෙන් ආරම්භ විය.
පුරාණ චාරිත්‍රයකට අනුව සිදු කෙරෙන මෙම පාද යාත්රාවේදී බැතිමතුන් විසින් කිලෝ මීටර් හත්සීයක (700 කට) ආසන්න දුරක් දින 54 ක් ඇතුළත පා ගමනින්ම ගෙවා නිම කිරීමට නියමිතය.
මඟ දෙපසින් එක්වන බැතිමත්හු සහ ආගමික සමගිය
පේදුරුතුඩුවෙන් ආරම්භ වූ මෙම පාද යාත්‍රාව ඉදිරියට ඇදෙද්දී යාපනය, නාගදීපය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ මඩකළපුව ආදී ප්‍රදේශවල සිට කණ්ඩායම් වශයෙන් තවත් බැතිමතුන් විශාල පිරිසක් මීට එක් වීමට නියමිතය.
පාද යාත්‍රාවේ යෙදෙන පිරිසට අවශ්‍ය ආහාර පානාදිය මඟ දෙපස වෙසෙන ජනතාව විසින් නොමිලේ ලබා දෙන අතර, ආහාර නොමැති පාළු ප්‍රදේශවලදී ස්වයංව ආහාර පිස ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ද සපයා ගනිමින් ඔවුහු මේ දුෂ්කර චාරිකාවේ යෙදෙති. මෑතක සිට හින්දු බැතිමතුන් සමඟ බෞද්ධ ජනතාව ද මේ සඳහා එක්වන අතර, වර්තමානය වන විට විදේශිකයන් කිහිප දෙනෙකු ද මෙරටට පැමිණ මෙම ආගමික චාරිකාවට එක්වීම විශේෂත්වයකි.
වනය මැදින් කතරගමට
තවත් බැතිමතුන් පිරිසක් මඩකලපුව, කොමාරි, අම්පාර, පොතුවිල් සහ අරුගම්බේ යන මාර්ග ඔස්සේ පානමට පැමිණෙන අතර, ඔවුන් සියලු දෙනාම පානම ඔකඳ දේවාලයේ දී මුරුගන් හෙවත් කතරගම දෙවියන්ට පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගෙන මහ වනයට ඇතුළුවීම පුරාණ චාරිත්රයකි.
වන සතුන් අධිකව ගැවසෙන මෙම අනතුරුදායක වනාන්තර ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් විසින් බැතිමතුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙනු ලබයි. පාද යාත්‍රාව පැවැත්වෙන කාල සීමාව තුළ පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යාල ජාතික උද්‍යානය මැදින් වැටී ඇති මෙම මාර්ග විවෘත කර දෙන අතර, එහිදී පැමිණෙන බැතිමතුන් නීත්‍යානුකූලව ලේඛනගත කිරීමක් ද සිදු කෙරේ.
මංගල්‍යයෙන් පසු විශේෂ බස් රථ
කතරගම පුදබිම වෙත ළඟාවීමෙන් පසුව බැතිමතුන් ඓතිහාසික කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන තෙක් එහි රැඳී සිටිති. මංගල්‍යය සාර්ථකව අවසන් වීමෙන් පසුව මෙම බැතිමතුන්ට නැවත යාපනය බලා යාම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) විසින් වාර්ෂිකව විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කරනු ලබයි.







