ඉඳුනිල් කහටපිටිය –
මාස තුනක කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා අධිභාරයක් පැනවීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළෙඳපොළේ පවතින වාහන මිල ඉහළ දැමීමට උත්සාහ කරන්නේ නම් එය විකෘතියක් මෙන්ම අවස්ථාවාදී හැසිරීමක් බව නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
අද (19) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේ මැයි 15 වැනිදා දක්වා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති කිසිදු වාහනයක් සඳහා මෙම අධිභාරය බලනොපාන බවය.
මෙම නව බදු සංශෝධනය මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, එය ත්‍රීරෝද රථ සහ යතුරුපැදි හැර අනෙකුත් පෞද්ගලික වාහන සඳහා පමණක් සීමා වේ. ප්‍රතිශතයක් ලෙස මෙම බදු වැඩිවීම සියයට 15ක් පමණක් වන අතර වාණිජ වාහන සඳහා ද මෙම බද්ද අදාළ නොවන බව ද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
රටේ විදේශ විනිමය තාවකාලිකව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පමණක් මෙම තීරණය ගත් බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමතිවරයා, වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
“දැනට ලංකාවට ගෙන්වා ඇති වාහන මෙන්ම මැයි 15 වැනිදාට පෙර LC විවෘත කළ වාහනවල මිල වෙළෙඳපොළේ කිසිදු ලෙසකින් ඉහළ යා නොහැකියි. එවැනි මිල වැඩි කිරීමක් කිරීමට තැත් කරන්නේ නම් එය අවස්ථාවාදී ක්‍රියාවක්. මෙමඟින් අප බලාපොරොත්තු වන්නේ පෞද්ගලික වාහන ආනයනය මාස තුනක කාලයකට ප්‍රමාද කර ගැනීම පමණයි.”
ආර්ථිකය ප්‍රසාරණය වන විට වාහන භාවිතය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුවද, බලාපොරොත්තු වූවාට වඩා වැඩි වාහන ප්‍රමාණයක් මේ වන විට ආනයනය කර ඇති බව ද මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා අනාවරණය කළේය. නියෝජ්‍ය ඇමතිවරයාට අනුව 2026 වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට යතුරුපැදි, ත්‍රීරෝද රථ, මෝටර් රථ ඇතුළු සමස්ත වාහන 178,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.
බාහිරව ඇති වූ පාලනය කළ නොහැකි ආර්ථික තත්ත්වයන් හමුවේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමට මෙම තීරණය ගත් බවත්, මෙය ආර්ථිකය හකුලා දැමීමේ පියවරක් නොවන බවත් පැවසූ ආචාර්ය අනිල් ජයන්ත, ගැඹුරු අර්බුදයක තිබූ ආර්ථිකයක් එකවරම යථා තත්ත්වයට පත් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බව ද පෙන්වා දුන්නේය.







