කපිල කේ හීනටියන –
ශ්‍රී ලංකන් සමාගම විසින් සිය සේවා සපයන ආයතනයක් වෙත කළ රුපියල් මිලියන 80කට අධික ගෙවීමක් සයිබර් අපරාධකරුවන් විසින් කොල්ල කෑමේ සිද්ධිය සිදුවී ඇත්තේ තමන්ගේ පද්ධතිවල දෝෂයක් නිසා නොවන බැවින් අදාළ සේවා සපයන ආයතනය වෙත කිසිදු ගෙවීමක් හෝ වගකීමක් දැරීමට තමන්ට නොහැකි බව ශ්‍රීලංකන් ගුවන් සමාගම ඊයේ (16) නිල වශයෙන් ප්‍රකාශ කළේය.
සමාගම මෙම ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධව මතුවි ඇති බරපතල මූල්‍ය වංචා දෙකක් පිළිබඳ ස්වකීය නිල අනාවරණය කරමිනි.
- ඉන් පළමුවැන්න ඩුබායි හි සේවා සපයන ආයතනයක විද්‍යුත් තැපැල් (Email) පද්ධතියකට ඇතුළු වූ (Compromised) සයිබර් අපරාධකරුවන් සිදුකළ ශ්‍රී ලංකා රුපියල් කෝටි 08කට වැඩි මහා පරිමාණ මුදල් වංචාවකි.
- දෙවැන්න ඉන්දියාවේ චෙන්නායි කාර්යාලයේ සේවකයින් පිරිසක් සිදුකළ රුපියල් මිලියන 22 ක මුදල් අවභාවිතයකි.
ඩුබායි ඊමේල් වංචාව සහ ශ්‍රීලංකන් සමාගම වගකීමෙන් නිදහස් වීම
ජාතික ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඩුබායි හි පිහිටි තමන්ගේ සේවා සපයන ආයතනයක් වෙත යවන ලද ඩිරාම් 974,000 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 80 කට අධික) තමන්ට නොලැබුණු බව එම ආයතනය විසින් දැනුම් දුන් බවය.
පසුව කරන ලද පුළුල් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ ඩුබායි සේවා සපයන ආයතනයේ විද්‍යුත් තැපැල් (Email) ගිණුමට තෙවැනි පාර්ශවයක සයිබර් අපරාධකරුවන් පිරිසක් රහසිගතව ඇතුළු වී ඇති බවය. එම සයිබර් අපරාධකරුවන් විසින්, අදාළ ආයතනයේ නිල ඊමේල් ගිණුම හරහා ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත ව්‍යාජ බැංකු ගිණුම් විස්තර එවා තිබේ.
එපමණක් නොව, ගුවන් සමාගම විසින් ඉල්ලා සිටි සියලුම නිල අතිරේක ලේඛන සහ සාක්ෂි ද, නිල නිලධාරීන්ගේ සැබෑ අත්සන් සහිතවම සැපයීමට මෙම වංචනිකයින් සමත්ව ඇත. මේ හේතුවෙන් තමන් ගනුදෙනු කරන්නේ සැබෑ සේවා සපයන්නා සමඟම යැයි දැඩි ලෙස විශ්වාස කළ ශ්‍රීලංකන් ගුවන් සමාගම, අදාළ ව්‍යාජ බැංකු ගිණුමට මුදල් බැර කර ඇත.
කෙසේ වෙතත්, මෙම මුදල් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සේවා සපයන ආයතනය වෙත කිසිදු ගෙවීමක් හෝ වගකීමක් දැරීමට තමන්ට නොහැකි බව ශ්‍රීලංකන් ගුවන් සමාගම තරයේම ප්‍රකාශ කර සිටියි. ගුවන් සමාගම පෙන්වා දෙන්නේ, මෙම සයිබර් ප්‍රහාරය සහ ආරක්ෂණ දෝෂය සිදු වී ඇත්තේ අදාළ ඩුබායි ආයතනයේ විද්‍යුත් තැපැල් පද්ධතිය තුළ මිස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පද්ධතිය තුළ නොවන බවය.
තමන් සියලු ගෙවීම් සිදුකළේ නිල සන්නිවේදන මාර්ග සහ නිවැරදි අත්සන් සහිත ලේඛන තහවුරු කරගැනීමෙන් පසුව බැවින්, අනෙක් පාර්ශවයේ දුර්වලතාවයකින් සිදුවූ වංචාවකට ශ්‍රීලංකන් සමාගම වගකිව යුතු නැති බව ඔවුහු අවධාරණය කරති.
මෙම වංචාව හඳුනාගත් වහාම ක්‍රියාත්මක වූ ශ්‍රීලංකන් ගුවන් සමාගම, අදාළ ගිණුමට තවදුරටත් මුදල් යැවීම වහාම අත්හිටුවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරක්ෂක බලධාරීන්ට සහ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර ඇත. මේ වන විට දෙරටේම ඒකාබද්ධ විමර්ශන ක්‍රියාත්මකය.
චෙන්නායි කාර්යාලයේ මිලියන 22ක අභ්‍යන්තර වංචාව
දෙවැනි සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාලයෙනි. එහි මුදල් අංශයේ සේවය කළ ඉන්දීය ජාතිකයන් වන සේවකයන් කිහිපදෙනෙකු විසින් දීර්ඝ කාලයක් තිස්සේ වංචනික ලෙස ආයතන මුදල් අවභාවිත කර ඇති බව හෙළි වී තිබේ.
ඔවුන් විසින් ව්‍යාජ ඉන්වොයිසි (Invoices) සකස් කරමින්, ගෙවීම් විස්තර සහ ප්‍රධානීන්ගේ අත්සන් හොරට යොදමින් ඉන්දීය රුපියල් මිලියන 22 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 80 කට අධික) ගසාකා ඇත. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය අංශය විසින් සිදුකළ අසාමාන්‍ය ගෙවීම් පිළිබඳ නිරීක්ෂණයකදී මෙම වංචාව හසු වී ඇති අතර, වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පරීක්ෂණ ආරම්භ වීමත් සමඟම වංචාවට සම්බන්ධ සේවකයන් සේවයට වාර්තා කිරීම මඟහැර පලාගොස් ඇති අතර, ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගෙන ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම වහාම මෙම කාරණය ඉන්දීය පොලිසිය සහ නීති බලාත්මක කිරීමේ බලධාරීන් වෙත යොමු කර ඇති අතර, අහිමි වූ මුදල් සියල්ල අදාළ සේවකයන්ගෙන් අයකර ගැනීමට නීතිමය පියවර ගනිමින් සිටින බව නිවේදනය කරයි.







