උපේක්ෂා උඩුවැරැල්ල –
-
අවුරුදු එක හමාරකට කලින් පාලමේ තැන් තැන්වල ඇණ යකඩ බේස් ගලවන්න අරන් … කැලණි පාලම කුඩ්ඩන්ගෙන් බේරගන්නේ රෑට පාලම දෙපැත්තෙ ගාර්ඩ් දාලා…
-
කොච්චර ගාර්ඩ් දැම්මත් කුඩ්ඩො රේල් පාරේ පීලි යකඩ බේස් ගලවනවා… මාසෙකට උන් දෙතුන් දෙනෙක් ආරක්ෂක අංශවලට කොටු වෙනවා…
-
නීතිය තදින් ක්‍රියාත්මක වෙන්නේ නෑ… කුඩ්ඩන්ගේ යකඩ මිලදී ගන්න උන්ටත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ…
-
කෝච්චියේ යන එන අපේ ජීවිත කුඩ්ඩන් ගේ සික් එකට බිලිවෙන්නට නියමිතව ඇති හැටි කියවන්න….
මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි කුඩ්ඩෙක් විසින් වනවාසල දුම්රියපලට මීටර 100ක් පමණ ඉදිරියෙන් ඇති ‘සොලිඩ් බේස්’ (Solid Base) අංගනයට ඇතුළු වන මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය එකිනෙක සම්බන්ධ වන, පීලි මාරු කරන ස්ථානයේ (Point) තිබූ යකඩ බාර් (Lock bars) ගලවා ගැනීම සිදු වී ඇත්තේ පිලී පනින ලද මන්දගාමි දුම්රියට ආසන්න පෙර එම ස්ථානය පසු කළ සීඝ්‍රග්‍රාමී දුම්රිය තුනක් එම ස්ථානය පසුකර ගිය පසු බවත් අඩුම තරමින් තව විනාඩි 30කට පෙර මෙම ගැලවිම සිදුකළා නම් සිදුවන්නට නියමිතව තිබුණේ ලංකාවේ බිහිසුණුම දුම්රිය අනතුරුවලින් එකක් බවත් දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේය.
මෙම දුම්රිය පීලි පැනීමට ලක් වන්නේ අලුයම 3.25ට පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ගමන් කරනා අළුයම මන්දගාමී දුම්රියය. එම දුම්ර්ය කොළඹ කොටුවට ලඟා වන්නට නියමිතව තිබුණේ අළුයම 5.38 ටය. මීට ආසන්න වෙලාවලදී සීඝ්‍රගාමී දුම්රිය තුනක් මේ මාර්ගයේ ගමන් කරන්නේය. එනම් 2.46 ට පොල්ගහ වෙල පසුකර එන සීඝ්‍රගාමී දුම්රිය, 3.09ට පොල්ගහවෙල පසුකර මොරටුව දක්වා ගමන් කරන සීඝ්‍රගාමී දුම්රිය සහ 3.47ට පොල්ගහවෙලින් පිටත් වී, 3.25ට පිටත්වී ඇති මන්දගාමී දුම්රිය පසුකරමින් පැමිණ 5.17ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ලඟාවන සීඝ්‍රගාමී දුම්රිය ය.
මෙම දුම්රිය තුනම ගමන් කළ පසු මන්දගාමී දුම්රිය අනතුර සිදුවූ ස්ථානයට ලඟා වන්නේය. වනවාසල දුම්රිය ස්ථානයේ නවත්වා ගමන් ආරම්භ කර අනතුර සිදුවන ස්ථානයට එන විට දුම්රියේ සාමාන්‍ය වේගය පැවතී ඇත්තේ පැයට කිලෝමීටර 10-15 අතරය. මේ ස්ථානය පසුකර ගිය සීඝ්‍රගාමී දුම්ර්ය තුනම එතැන පසුකරන්නේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 80කට ආසන්න වේගයෙන් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියන්නේය.
දුම්රිය පීලි පනින්නේ පීලි මාරු කරන ස්ථානයේ (Point) තිබූ යකඩ බාර් (Lock bars) ගැලවීම නිසා එම ස්ථානය ලිහිල් වී ධාවනය වූ දුම්රියේ ඉදිරි මැදිරි ප්‍රධාන මාර්ගයේත්, පසුපස මැදිරි අනෙක් මාර්ගයෙත් ගමන් කර ඇති බැවිනි. මෙලෙස මැදිරි පීලි දෙකකට බෙදී ධාවනය වීම හේතුවෙන් මෙම බලවේග කට්ටල දුම්රියේ දෙවන මැදිරිය පීලි පැන පෙරළීමට ලක්ව තිබිණි.
ඇත්ත ප්රශ්නය කුමක් ද?
දැන් නැගෙන ප්‍රශ්නයක් ඇත. මන්දගාමී දුම්රිය පිලී පැනීමට පෙර අවසන් වරටය එම ස්ථානය පසුකරන සීඝ්‍රගාමී දුම්රිය ගමන් කරන්නේ මන්දගාමී දුම්රිය පිලී පැනීමට විනාඩි 20ක් 25ක් අතර කාලයකට පෙරය. එපමණ කෙටි කාලයක දී මේ යකඩ කොටස ගලවා ගැනීමට කුඩ්ඩෙකුට හැකි ද යන්නය.
“ වැඩේ දන්න එකෙකුට මේ යකඩ බාර් එක ගලවන්න එක පාරයි ගහන්න ඕන…” දුම්රිය නිලධාරියෙක් අපට කීවේය.
ඇත්තම ප්රශ්නය හිතනවාට වඩා බෙහෙවින්ම බරපතලය. වනවාසල කැලණිය අතර දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම වළක්වා ගත නොහැකි පිළිලයක් බඳු විනාශයක් බව ඔවුහු අපට කියති. කුඩුවලට ඇබ්බැහි වූ කුඩ්ඩන් විසින් ගලවාගෙන යන රේල් පීලිවල ඇණ, යකඩ කොටස් නිසා විශාල අනතුරු වෙන්නට ගොස් බේරී ඇත්තේ පූරුවේ පිනකටය. පසුගිය අවුරුදු එක හමාරක කාලය තුළ මේ ඇණ ගැලවීම් බහුලවම සිදුවී තිබුනේ කැලණි ගඟ මතින් විහිදෙන කැලණි පාලමේ වීම ඇඟ හිරිවැටෙන කතාවකි. කැලණි පාලම මත දුම්රියක් පීලි පැනීම ගැන මටනම් හිතනවිටත් උගුර කට වේලෙන්නේය.
මේ බිහිසුණු ව්‍යසනය වලක්වා ගැනීමට මේ වනවිට පාලම දෙපස විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවී තිබේ. මොනතරම් ආරක්ෂක විධි විධාන දැම්මත් දුම්රිය මාර්ගයේ ඇණ ඇතුළු කොටස් ගැලවීමත්, එවැනි කුඩ්ඩන් දෙතුන් දෙනෙක් මාසයකට වරක් අත් අඩංගුවට ගැනීමත් නිරන්තරව සිදුවෙමින් ඇත.
මුන් අල්ලාගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ පොදු දේපල පනත යටතේය. බොහෝ විට ඉදිරිපත් වන ව්‍යාජ මානුෂික හේතු පදනම් කරගෙන ඉතා සුළු දඩයකින් උන් නිදහස් වී යෑම පිළිබඳව බරපතල අවුලක් දුම්රිය නිලධාරීන්ට ඇත. මේ කාලකණ්ණින්ට දැඩි දඬුවම් පැමිණවීමේ අවශ්‍යතාවය ප්රමුඛ බව වනවාසල සිද්ධිය පෙන්නුවේ සිදුවන්නට ගිය අනතුර මීට වඩා බෙහෙවින්ම බරපතල බවට ඉඟි කරමිනි.
එමෙන්ම මේ කුඩ්ඩන් දුම්රිය මාර්ගයේ කොටස් ගලවා අලෙවි කරන්නේ කැලණිය සහ වනවාසල අවට ඉන්නා පරණ යකඩ බඩු විකුණන උන් කීප දෙනෙකුටය. ඉහළම තත්ත්වයේ යකඩ බැවින් ව්‍යාපාරිකයින් ඒවා මිලදී ගන්නේය. මේ යකඩ ගලවන්නේ දුම්රිය මාර්ගයෙන් බවත්, එම යකඩ රාජ්‍ය දේපල බවත් දැනුම්වත්ව කුඩු කාරයෙකුගෙන් ඒවා මිලදී ගන්නා වෙළෙන්දන් සම්බන්ධව මෙතෙක් බරපතල ලෙස නීතිය ක්‍රියාත්මක වූයේ නැත. පොලිසියත් උන් සාක්ෂිකාරයින් කරගෙන උන් විෂයෙහි නිතිය ක්‍රියාත්මක නොකිරීමට වගබලා ගන්නා ක්‍රමයක් ඇත. මේ ක්‍රමය වෙනස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියට බල කළ යුතුබව අවධාරණය වන්නේ කෝච්චියේ යන එන අපේ ජීවිත සමග මේ කෙළින සූදුව සිල්ලර එකක් නොවන නිසාය.
දුම්රිය වෘත්තිය සමිතිවල හැසිරීම
මේ සම්බන්ධව අප කළ විමසීමක දී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ මේ සිදුවෙමින් ඇති දේපල කොල්ලයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බල කරන ස්ථාවරයක තම සංගමය සිටින බවය. එහෙත් මේ වැනි තත්ත්වයක් තුළදීවත් සොයා බලා වගකීමකින් විනයකින් කටයුතු කරන්නට දුම්රිය රියදුරන්ට නොහැකි වීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ අප්‍රසාදයක් මතු වී තිබේ.
ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක ප්‍රකාශ සිද්ධිය වි පැය කීපයකට පසුව ප්‍රකාශ කරන්නේ දුම්රිය මාර්ගයේ පවතින අනතුරුදායක තත්ත්වය සහ පාලනාධිකාරියේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවය., අනතුර සිදුවූ ස්ථානයේ පීලි මාරු කරන පද්ධතියේ (Point) යකඩ බාර් සහ ඇණ කිසියම් පිරිසක් විසින් හිතාමතා ගලවා ඉවත් කිරීම හේතුවෙන් මෙම පීලි පැනීම සිදුව ඇති බවට විමර්ශන සාක්ෂි මගින් අනාවරණය වි තිබියදීත්, සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබියදිත් , සිද්ධියේ සාපරාධී හෝ කඩාකප්පල්කාරී ස්වභාවය පිළිබඳව නිසි සොයා බැලීමකින් තොරව සිදුකරන මෙවැනි දේශපාලන ප්‍රකාශවලින් සිද්ධිය පිළිබඳව සිදුවන නිල විමර්ශනවලටත් බාධා ඇතිවන බව පෙනී ගොස් ඇත. උන් දකින දකින දෙයින් පහර දෙන උම්මන්තකයින් වැනි කණ්ඩායමකි.
අවසාන වශයෙන් කිව යුත්තේ මේ නොසලකා හැරිම්, අතපසුවිම්, කාකොටා ගැනීම් දේශපාලන සූදු අතර කෝච්චියේ උදේ හවස යන එන අපේ ජීවිත අනතුරේ බව පමණය.







