ඉඳුනිල් කහටපිටිය –
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තුළ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 340ක මහා පරිමාණ මූල්‍ය වංචාවකට සෘජුවම වගකිවයුතු බවට චෝදනා එල්ල වී ඇති එහි මූල්‍ය අංශ ප්‍රධානියා සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) තනතුරට උසස්වීම් ලබාදීමට සංස්ථා පාලනාධිකාරිය සූදානම් වන බවට සේවකයෝ චෝදනා කරති.
ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක පිරිසක් විසින් මේ පිළිබඳව කරුණු දක්වමින් විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි වෙත ලිපියක් යොමු කර ඇති අතර, එමඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම දූෂිත ක්‍රියාවලියට එරෙහිව වහාම විමර්ශනයක් කර සුදුසු පියවර ගන්නා ලෙසය.
එකම වවුචරයට චෙක්පත් දෙක බැගින් ලියලා
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියේ දැක්වෙන්නේ, වත්මන් සභාපතිනිය පත්ව ආ මුල් මාස 03ක කාලය ඇතුළත සංස්ථාවේ පරිගණක පද්ධතියට ඇතුළු වී දත්ත වෙනස් කරමින්, එකම වවුචරය සඳහා චෙක්පත් දෙක බැගින් නිකුත් කරමින් මෙම රුපියල් ලක්ෂ 340ක මූල්‍ය මංකොල්ලය සිදු කර ඇති බවය.
ෙමෙම වංචනික චෙක්පත් සඳහා මූල්‍ය අංශ ප්‍රධානියා අත්සන් තබා ඇති බවත්, මූල්‍ය අංශය කිසිදු පාලනයකින් තොරව පවත්වාගෙන යාම හේතුවෙන් මෙම වංචාවට සෘජු සහයෝගයක් ලැබී ඇති බවත් සේවකයෝ පෙන්වා දෙති. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විමර්ශන සිදු කළද, සංස්ථා සභාපතිනියගේ අනිසි මැදිහත්වීම් මත එම පරීක්ෂණ දැනට යටගසා ඇති බවටද ඔවුහු චෝදනා කරති.
ගිණුම් වාර්තා වෙනස් කර බොරු ලාභ පෙන්වීම්
මීට අමතරව, අදාළ මූල්‍ය ප්‍රධානියාට ශේෂ පිරික්සුමක්, බැංකු සැසඳුමක් හෝ අවසාන ගිණුමක් පිළිබඳ නිසි වෘත්තීය දැනුමක් නොමැති බවත්, 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වැරදියට පිළියෙළ කර ව්‍යාජ ලාභයක් පෙන්වා ඇත්තේද මොහු විසින්ම බවත් ලිපියේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ වුවද, සංස්ථාවේ සභාපතිනිය සහ අභ්‍යන්තර විගණක විසින් එම පරීක්ෂණ ද යටගසමින් සිටින බව සේවක පිරිස පවසති.
එමෙන්ම සංස්ථාවේ අලෙවි මධ්‍යස්ථානවල සිදුව ඇති රුපියල් 18,676, 378.90ක (ලක්ෂ 186කට අධික) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණකවරයා විසින් අධ්යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අවි/01/13/2024/19 දරන විගණන වාර්තාව මඟින්ද මෙම වංචාවලට සෘජුවම වගකිවයුත්තේ දැන් උසස්වීම සඳහා යෝජනා වී ඇති මූල්‍ය ප්‍රධානියා වූ පුද්ගලයා බව සේවකයෝ කියති. මේ විගණන වාර්තාවෙන් මෙම පුද්ගලයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබේ. එහෙත් එම විගණන කමිටු නිර්දේශ පවා අභිබවා යමින්, සභාපතිනියගේ සහ කළමනාකාර අධ්‍යක්ෂගේ ආශිර්වාදය මත ඔහු මේ වන විටත් සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස වැඩ බැලීම සිදු කරන බව සේවක පරිස් පෙන්වා දෙති.
උසස්වීම් දෙන්න අයදුම්පත් විනාශ කරලා?
ලිපිය මඟින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ, මෙම නිලධාරියා ස්ථිර වශයෙන්ම සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) තනතුරට පත් කිරීම සඳහාවන සම්මුඛ පරීක්ෂණය 2026 මැයි 20 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.
එහිදි මෙම චූදිත මූල්‍ය ප්‍රධානියාට තරගයක් ඇති වීම වැළැක්වීම සඳහා, සංස්ථාවේ තැපැල් සහයක ලෙස සේවය කරන පුද්ගලයෙක් ලවා, එම තනතුර සඳහා වෙනත් සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් ලැබී තිබූ සියලුම අයදුම්පත් සභාපතිනියගේ අනුදැනුම මත විනාශ කර දමා ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වේ. මේ වන විට ඉතිරි කර ඇත්තේ ඔහුට තර්ජනයක් නොවන එක් පෞද්ගලික අයදුම්කාරියකගේ අයදුම්පතක් පමණක් බවද සේවකයෝ පවසති.
වත්මන් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට මරු පහරක් එල්ල කරමින් සිදු කෙරෙන මෙම මහා පරිමාණ දූෂණ සහ අනීතික උසස්වීම් ක්‍රියාවලිය පිළිබඳව වහාම අවධානය යොමු කර, සංස්ථා සභාපතිනිය, කළමනාකාර අධ්යක්ෂවරයා, අභ්‍යන්තර විගණකවරිය සහ අදාළ මූල්‍ය ප්‍රධානියාට එරෙහිව දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආයුර්වේද ඖෂධ සංස්ථා සේවක පිරිස නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.







