මනම්පිටිය නිමල් ජයරත්න-
පොලොන්නරුව වැලිකන්ද, කාසන්වැව ප්‍රදේශයේදී ඉසෙඩ්.ඩී. (ZD) ප්‍රධාන ඇළට වැටී සිටි වන අලියෙකු පැය 12ක දැවැන්ත මෙහෙයුමකින් පසු ඕමනියාමඩු රක්ෂිතයට පලවා හැරීමට වැලිකන්ද වනජීවී නිලධාරීන් සමත් වී තිබේ.
පසුගිය 11 වනදා උදෑසන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට ජලය සොයා පැමිණි අවස්ථාවේදී මෙම වන අලියා ඇළට වැටී ඇති බව අනාවරණය වී ඇත. ඇළට වැටුණු අලියා ජලයේ සැඩපහරට හසුවී කිලෝමීටර් අටක් පමණ දුරක් පහළට ගසාගෙන ගොස් තිබේ.
මෙම ගමනේදී ඇළේ ස්ථාන කිහිපයක පිහිටි සොරොව් තුනක සිරවී අලියා දැඩි අසීරුතාවයට පත්ව සිටි බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළහ.

අවුරුදු 35ක් පමණ වයසැති මෙම වන අලියා ගොඩ ගැනීමට නිලධාරීන් අවස්ථා කිහිපයකදී ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ අතර, අවසානයේදී ඇළේ කෙළවර පිහිටි ඕමනියාමඩු ප්‍රදේශයෙන් අලියා ආරක්ෂිතව ගොඩට පැමිණ රක්ෂිතයට ඇතුළු වී තිබේ.







