ඉඳුනිල් කහටපිටිය –
2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම කොමිසමෙන් පිටවී ගියේය.
අද පෙරවරු 11.50 ට පමණ මාධ්‍ය වෙත අදහස් දැක්වීමකින් තොරවම ඔහු එම පරිශ්‍රයෙන් පිටව ගියේය.
හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියට කැඳවන අවස්ථාවේ පොදු ජන පෙරමුණ සිය පාක්ෂිකයින් රැසක් කොමිසම ඉදිරියට කැඳවා සටන් පාඨ කියවමින් උද්වේගකර අවස්ථාවක් නිර්මාණය කළේය. සිය නායකයා වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීමට පැමිණි බව පෙනුන එම පිරිස අතරින් මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට ගමන් කළේය.
ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු ඔහු නික්ම ගිය අතර ඉන් පසු පාක්ෂික කණ්ඩායම කීප දෙනා බැගින් විසිරී ගියේය.
අද මහින්ද රාජපක්ෂට කැඳවීම කර තිබුණේ එයාර් බස් ගනුදෙනුව පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේන විසින් කරන ලද අනාවරණයන් පදනම් කරගෙනය. අදාළ අල්ලස් මුදලෙන් රුපියල් මිලියන 60 ක මුදලක් මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන මීට පෙර ප්‍රකාශ කර තිබූ බව වාර්තා විය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2013 වසරේදී ජාතික ගුවන් සේවය සඳහා A330 සහ A350 මාදිලියේ එයාර්බස් යානා මිලදී ගැනීමට අදාළව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ. මෙම ගනුදෙනුව සම්බන්ධ දූෂණ චෝදනා වසර ගණනාවක සිට පැතිර ගිය අතර, කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ මීට පෙර මෙම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගෙන තිබුණි.
මෙම විමර්ශනයට අදාළව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට ද කැඳවීම් ලැබී තිබිණි. හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජික විලී ගමගේ ඒ අතර විය.
අද සිදුවූ දේ
- පැමිණීම: හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර, ඔහුට සහය පළ කිරීම සඳහා විශාල පිරිසක් එම පරිශ්‍රය අසලට රැස්ව සිටියහ.
- කාලසීමාව: ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා ඔහු පැය කිහිපයක කාලයක් කොමිසම තුළ රැඳී සිටියේය.
- පිටව යාම: මධ්‍යහ්නයට ආසන්න වෙද්දී ඔහු පිටව ගිය අතර එහිදී මාධ්‍ය ඇමතීමක් සිදු නොකළේය.
පසුබිම සහ ප්‍රතිචාර
මෙම පෙනී සිටීම ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන පුළුල් විමර්ශනයක කොටසකි. මෑත කාලීනව ඉහළ පෙළේ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් කොමිසම සක්‍රීයව කටයුතු කරමින් සිටියි. ප්‍රසන්න රණතුංග වැනි හිටපු අමාත්‍යවරුන් ඇතුළු හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ප්‍රකාශ කරන්නේ මෙය දේශපාලනිකව පළිගැනීමේ අරමුණින් සිදු කරන ලද්දක් බවයි.
අද දින ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව කිසිදු අත්අඩංගුවට ගැනීමක් හෝ වැඩිදුර චෝදනා ඉදිරිපත් කිරීමක් වාර්තා වී නොමැති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි සිදුවූයේ යැයි කියන දූෂණ මර්දනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්රයත්නයේ සුවිශේෂී පියවරක් ලෙස මෙම සිදුවීම සැලකේ.
මේ ලිපියත් කියවන්න…







