ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොළඹ, කොල්ලුපිටිය පෙඩ්රිස් මාවතේ පිහිටි ඔහුගේ නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී අද (මැයි 08) සොයාගෙන තිබේ. පොලිසිය සැක කරන්නේ මෙය සියදිවි නසාගැනීමක් බවයි.
2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත ඔහු පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
පසුගිය මැයි 05 වනදා කොළඹ අධිකරණය විසින් ඔහුට දැඩි ඇප කොන්දේසි මත ඇප නියම කරන ලදී. එහිදී රුපියල් 500,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට නියම විය. කෙසේ වෙතත්, ඔහු වෙනුවෙන් ඇපයට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් 15,000ක මුදලක් ලබාගෙන වංචනික ලෙස ඇපකරුවන් ලෙස පෙනී සිට ඇති බව අල්ලස් කොමිසම විසින් අනාවරණය කර ගන්නා ලදී.
ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ අධිකරණය නොමඟ යැවීම හේතුවෙන් මැයි 07 වනදා අධිකරණය විසින් ඔහුගේ ඇප අවලංගු කර වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටියදී මෙලෙස නිවස තුළ මියගොස් සිටියදී හමු වී ඇත. මුදල් ලබාගෙන ඇපයට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මැයි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







