අසේල කුරුළුවංශ –
වත්මන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුවට පිවිසීමට හෝ සක්‍රීය දේශපාලනයේ නිරත වීමට බලාපොරොත්තු නොවන බව ඉතා පැහැදිලිව කීවේය.
ඊයේ (මැයි 02) මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහා විහාරීය මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය. මේ ප්‍රකාශය මගින් තහවුරු වූයේ තුයියකොන්තා නියෝජ්‍ය ආරක්ෂක ඇමති ලෙස දේශපාලනයට පිවිසෙන බවට පලවන ප්‍රකාශවල පදනමක් නොමැති බවය.
පැතිර ගිය දේශපාලන කටකතා සහ පසුබිම
පසුගිය අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට මෙරට ඉහළ පෙළේ ආරක්ෂක තනතුරුවල වෙනසක් සිදුවන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ විය. එම වාර්තාවල සඳහන් වූයේ සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගැනීමට සූදානම් වන බවය.
එමෙන්ම වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත්, ඉන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සම්පත් තුයියකොන්තා පත් කරනු ඇති බවටත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි. මේ ඉල්ලා අස්විම සිදුවන බව කියැවුනේ පාස්කු විමර්ශන සම්බන්ධව කතෝලික පල්ලිය විසින් එල්ල කළ විරෝධතාවයන් හේතුවෙන් බව ද එම වාර්තා කීවේය.
එහෙත් මෙම සියලු පුවත් අසත්‍ය බව දැන් ආරක්ෂක ලේකම්වරයා විසින්ම තහවුරු කර ඇත.
මෙම දේශපාලන වෙනස්කම් පිළිබඳව පළ වූ වාර්තාවල තවත් විශේෂ කරුණක් වූයේ, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පත් කිරීමට නියමිත බවය. සමාජයේ පැතිරුණ කතාවක් වූයේ ජෙනරාල් රත්නායක වෙත එම යෝජනාව ඉදිරිපත් වුවද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවය.
සම්පත් තුයියකොන්තා
2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයට පත් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස දීර්ඝ කාලයක් මව්බිමට සේවය කර ඇති ඔහු, අතිශය දක්ෂ මෙන්ම ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙකි.
ඊයේ කරන ලද මෙම ප්‍රකාශයත් සමඟ තමන් පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසෙන බවට පළවූ සියලු අනුමාන කිරීම්වලට ඔහු නැවතීමේ තිත තබා ඇත. ඒ අනුව ඔහු තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇත. සමාජය දේවල් ගොතා නිර්මාණය කරගන්නා වේගයෙන් ඇත්ත ලෝකයේ අමුතු දේවල් සිද්ධ වන්නේ නැති බව දැන් තේරුම් ගත යුතුය.







