මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි වර්ෂාපතනය හා ඒ හමුවේ සිදු වූ නායයාම් හේතුවෙන් මධ්‍යම කඳුකරයට විශාල පරිසර හානියක් සිදු විය. රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ දැඩි අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ගැටලුවලට තිරසාර විසඳුම් සෙවීම සඳහා මධ්‍යම කඳුකරය රැක ගැනීමටම වෙන් වූ වෙනම අධිකාරියක් පිහිටුවීමට තීරණය කළේය.

මෙම සාකච්ඡාවේදී අදාළ අධිකාරිය පිහිටුවීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය ප්‍රතිපාදන සහ මේ වන විට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව පුළුල් ලෙස කරුණු විමසා බැලුණු අතර, ඊට එක්ව සිටි විද්වතුන් විසින් විවිධ යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කරන ලදී. එම සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, නව අධිකාරිය පිහිටුවීමේ ඉදිරි කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාවේ ඉහළ ජලධාර ප්‍රදේශවල පාරිසරික ප්‍රතිස්ථාපනය සහ කළමනාකරණය මෙම නව අධිකාරියේ ප්‍රධාන වගකීමක් වේ. මීට අමතරව:
- ජාතික ජල සුරක්ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම.
- ආපදා අවදානම අවම කිරීම.
- ආර්ථික සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
- දේශගුණික විපර්යාසයන්ට අනුකූල වීම සහ ඒවායේ බලපෑම් අවම කිරීම.
- ස්වභාවික ප්‍රාග්ධන ගිණුම්කරණය.
වැනි අරමුණු රැසක් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ආයතනික සම්බන්ධීකරණය සිදු කිරීමද මෙම නව අධිකාරිය මගින් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ අදාළ ආයතන ප්‍රධානීහු එක්ව සිටියහ.
එසේම රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන්, සොබාදහම් සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) සහ ආසියානු සංවර්ධණ බැංකුවේ (ADB) නියෝජිතයන් මෙන්ම ක්ෂේත්රයේ දෙස් විදෙස් ප්‍රවීණයන් පිරිසක්ද මෙම තීරණාත්මක සාකච්ඡාවට සහභාගී වූහ.







