ඉඳුනිල් කහටපිටිය –
-
විදේශ ණය වාරිකයක් අවභාවිත වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) ලබන අඟහරුවාදා (අප්‍රේල් 28) විශේෂ තීරණයක් ගැනීමට සූදානම්…
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට එල්ල වූ බව කියන සයිබර් ප්‍රහාරයක් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) විදේශ ණය වාරිකයක් අවභාවිත වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) ලබන අඟහරුවාදා (අප්‍රේල් 28) විශේෂ තීරණයක් ගැනීමට නියමිතය.
පසුගිය අප්‍රේල් 22 සහ 23 යන දිනවල මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ හැකර්ලා කණ්ඩායමක් ඔස්ට්‍රේලියානු ණය හිමියෙකු වෙත ගෙවීමට තිබූ ණය වාරිකයක් වෙනත් ගිණුමකට හරවා ගෙන ඇති බව වාර්තා වේ. ඊමේල් පණිවිඩ හුවමාරු දත්ත වෙනස් කරමින් මෙම මංකොල්ලය සිදු කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
මෙම සිදුවීමට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති අතර, අභ්‍යන්තර පරීක්ෂණ මෙන්ම විදේශීය පරීක්ෂණ ආයතනවල සහාය ද ලබා ගැනීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සැකය
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳ අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම දැඩි ලෙස ප්‍රශ්න කරයි. කිසිදු ස්වාධීන විමර්ශනයකින් තොරව පද්ධතිය “හැක්” වූ බව පැවසීම පිළිගත නොහැකි බවත්, අදාළ ණය හිමියාට මුදල් නොලැබීම හරහා ශ්‍රී ලංකාව ‘තාක්ෂණික ණය පැහැර හරින්නෙකු’ (Technical Default) බවට පත්වීමේ අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.
”මූලික ගැටලුව වී තිබුණේ තාක්ෂණික පැහැර හැරීමක් සිදු වෙලා ද කියලා. එතනදී ඔහු අපිට කියලා තිබුණා, නෑ එහෙම සිදු වීමක් නොවේ මොකද ආණ්ඩුව ගෙවන්න වුවමනාවෙන් හිටියත් තාක්ෂණික හේතුවක් නිසා මේක ගෙවන්න බැරි වුණ නිසා ඔස්ට්‍රේලියානු රජයත් එක්ක සාකච්ඡා කරනවා කියලා..”
“නමුත් දැන් අපිට මේ ප්රශ්නය ගැන අලුත් තොරතුරු එළියට එනකොට දැනෙන දෙයක් තමා පාර්ලිමේන්තුව මේ ගැන දැනුවත් කරන්න තිබ්බා ජනවාරි මාසයේ දී කියන එක.. ලේකම්තුමා ඉදිරිපත් කරපු ලියුමේ මෙහෙම දෙයක් කියනවා… “ඔතෝරිටි එකකින් තොරව මුදල් අමාත්‍යංශයේ පරිගණක ජාලයට හැකර්ලා ඇතුළු වෙලා කියලා..”
“ මම විශ්වාස කරන්නේ නෑ එහෙම වෙලා තියනවා කියලා.. එහෙම නම් මහ විශාල ප්‍රශ්නයක්නේ ඒක.. හැකර්ලා මුදල් අමාත්‍යංශයේ පරිගණක ජාලය හැක් කරලා කියලා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ.. මෙහෙම වෙලා නෑ කියලා 99%ක්ම මට විශ්වාසය තියෙනවා.. මේ වෙලා තියෙන්නේ වෙන දෙයක්..”
“අමතක කරන්න එපා විශ්වාසය ගැනයි මේ වැඩකටයුත්ත තියෙන්නේ.. මම බලාපොත්තු වෙනවා කමිටුවේ සමාජිකයින්ට දේශපාලන වශයෙන් මේක ගැන හිතන්නේ නැතිව ඒ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අරගෙන හැකි ඉක්මනින් භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු සියලු දෙනා පාර්ලිමේන්තුවට කැඳවලා, මුදල් කමිටුව කැඳවලා ඒ අවශ්‍ය තොරතුරු දැනුවත් කරන්න.. ”
මීට පෙර අවස්ථා තුනකදී සූදුව නියාමනය කිරීම සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශය කැඳවූවත්, එම නිලධාරීන් කාරක සභාව හමුවේ පෙනී නොසිටි බව සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. මීට පෙර මහ බැංකුව යටතේ තිබූ රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු නිසි ප්‍රවීණතාවයකින් තොරව භාණ්ඩාගාරය යටතට පවරා ගැනීම මෙවැනි අවදානම්වලට හේතු වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඉදිරි ක්‍රියාමාර්ග
ලබන අඟහරුවාදා පැවැත්වෙන තීරණාත්මක රැස්වීමේදී පහත පියවර ගැනීමට අපේක්ෂිතය:
- පක්ෂග්‍රාහීත්වයෙන් තොර තීරණ: දේශපාලන භේදයකින් තොරව සියලු සාමාජිකයන්ගේ එකඟතාවයෙන් සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන ස්ථාවරයකට පැමිණීම.
- මුදල් ලේකම් කැඳවීම: අඟහරුවාදා රැස්වීමේ ප්‍රතිඵල මත පදනම්ව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවා මේ සම්බන්ධයෙන් සෘජුව කරුණු විමසීම.
- විමර්ශන වාර්තා ඉල්ලීම: බිඳ වැටුණු අභ්‍යන්තර පාලන පද්ධති, අරමුදල් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සිද්ධියේ සැබෑ ස්වභාවය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගැනීම.
- ජාත්‍යන්තර බලපෑම: මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලට සහ අයි.එම්.එෆ් (IMF) වැඩසටහනට එල්ල කරන බලපෑම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.
මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණය තහවුරු කිරීමටත්, මහජන විශ්වාසය යළි ගොඩනැගීමටත් අපේක්ෂා කෙරේ.







